[මෙය Where is America going?: Oligarchy, dictatorship, and the revolutionary crisis of capitalism මැයෙන් 2025 නොවැම්බර් 24දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]
නොවැම්බර් 18දා බර්ලිනයේ දී සහ නොවැම්බර් 22දා ලන්ඩනයේ දී පැවති ප්‍රධාන ප්‍රසිද්ධ රැස්වීම් දෙකක දී, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, ධනවාදයෙහි ගෝලීය අර්බුදය සහ ආඥාදායකත්වය දෙසට ට්‍රම්ප් පරිපාලනයෙහි ධාවනය විභාග කරමින් දේශන පැවැත්වී ය. නෝර්ත්ගේ ලන්ඩන් දේශනයෙහි පඨිතය මෙහි සම්පූර්නයෙන් පල කෙරේ.
සමාජවාදී විඥානයෙහි වර්ධනයේ දී, කම්කරුවන්ට හා තරුනයන්ට උදව්කාරක වන පුරෝගාමී මෙවලමක් වන, Socialism AI නමැති කෘතිම බුද්ධි යෙදවුම ඉදිරියේ දී දියත් කිරීම නිවේදනය කිරීමට නෝර්ත් මෙම රැස්වීම් දෙක ම යොදාගත්තේ ය.
***
1920 ගනන් හා 1930 ගනන් තුල දිග හැරෙමින් පැවති දේශපාලනික සිද්ධීන් පිලිබඳ ව, ලියොන් ට්‍රොට්ස්කි කල ශ්‍රේෂ්ඨ රචනාවන් කිහිපයක ම මාතෘකාව ලෙස ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට ඔහු තෝරා ගත්තා. ඓතිහාසික මහා වැඩ වර්ජනය පුපුරා යාමට යන්තම් වසරකට පෙර, 1925 දී ලියූ “බ්‍රිතාන්‍යය යමින් සිටින්නේ කොයිබට ද?”,“නව සෝවියට් රාජ්‍යයේ ආර්ථික පිලිවෙත්වලට සම්බන්ධ තීරනාත්මක ප්‍රශ්න විභාග කරමින් 1925 දී ම ලියූ “සමාජවාදයට දෙසට ද නැතහොත් ධනවාදය දෙසට ද?”,සහ ප්‍රන්සය තීව්‍ර පන්ති ගැටුමේ කාලපරිච්ඡේදයකට ඇතුල් වෙමින් තිබූ 1934 දී රචනා කල “ප්‍රන්සය කොයිබට ද?”, මෙම රචනාවලින් වඩාත් ම ප්‍රසිද්ධ වුනා.
අද රාත්‍රියේ දේශනය “ඇමරිකාව යමින් සිටින්නේ කොයිබට ද?” යන ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. බොහෝ ජනයා, ඔවුන්ට එම ප්‍රශ්නය ඉදිරිපත් කලහොත්, “අපායට” යයි කියමින් ක්ෂනික ව ප්‍රතිචාර දක්වනු ඇතැයි මම හිතනවා. එසේ අදහස් කරන්නේ උපමා-රූපකයක් ලෙස පමනක් නම්, එම පිලිතුර සාධාරන යි.
වේගයෙන් පැත්ත පෙරලෙමින්, අපාලිත ව ව්‍යසනය දෙසට ගමන් කරමින් තිබෙන අර්බුදකාරී තත්ත්වයක් අර්ථවත් කරන, “Going to hell in a hand basket” යනුවෙන් සමාන ඉංග්‍රීසී ආප්තයක් පවතින අතර එය එක්සත් ජනපදයේ තත්ත්වය විස්තර කරනවා.
මෙම දේශනය සූදානම් කරද්දී, මා මුහුන දුන් අභියෝගයක් වන්නේ, දේශපාලන අර්බුදයේ වේගයට ගැලපෙන පරිදි යුහුසුලු වීම යි.
නොවැම්බර් 20දා, ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභිකයින් හා කොංග්‍රස් සභිකයින්ට රාජද්‍රෝහීන් ලෙස චෝදනා කරමින් හා ඔවුන්ට “මරන දඬුවම” පනවන ලෙස කැඳවුම් කරමින්, ඩොනල්ඩ් ට්‍රම්ප් හෙලාදැකීම් මාලාවක් කලා. ව්‍යවස්ථාවට ගරු කරන බවට හා ව්‍යවස්ථාව සුරකින බවට මිලිටරි භටයින් දෙන ප්‍රතිඥාව උල්ලංඝනය කිරීමට මිලිටරියට බල කරන, “නීති-විරෝධී නියෝග ප්‍රතික්ෂේප“ කරන ලෙස, ඩිමොක්‍රටික් ව්‍යවස්ථාදායක සභිකයින් කැඳවුම් කරන වීඩියෝවකට ප්‍රතිචාර වසයෙන්, ට්‍රම්ප්ගේ ප්‍රකාශ පල කෙරුනා.
වීඩියෝව පල කල බොහෝ ඩිමොක්‍රටිකයන්ට, එක්සත් ජනපද ඔත්තු සේවා ආයතන සමග දීර්ඝ-කාලීන සම්බන්ධකම් පවතින නිසා, ව්‍යවස්ථාව පෙරලා දමමින් ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට ට්‍රම්ප් ගෙන යන සැලසුම් පිලිබඳ ව, ඉහල මට්ටමින් ලැබුනු තොරතුරු මත ඔවුන්ගේ අනතුරු ඇඟවීම පදනම් වී ඇතැයි උපකල්පනය කල යුතු යි.
වීඩියෝව මිලිටරියට ඍජු ව ම ආමන්ත්‍රනය කලා:
ඔබ දැන් සිටින්නේ යෝධ ආතතියක් හා පීඩනයක් යටතේ යයි අපි දනිමු. ඇමරිකානුවන් තම මිලිටරිය විශ්වාස කරන නමුත් එම විශ්වාසය දැන් අනතුරේ හෙලී පවතී.
මෙම පරිපාලනය නිල-ඇඳුම් ලා ගත් අපේ මිලිටරිය හා රහස් ඔත්තුසේවා වෘත්තිකයන්, ඇමරිකානු පුරවැසියන්ට එරෙහි ව පිහිටුවනවා. මේ දැන්, අපේ ව්‍යවස්ථාවට තර්ජන එන්නේ හුදෙක් විදේශයන්ගෙන් නො ව රට තුලින් ම යි. අපේ නීති ඉතා පැහැදිලි යි. ඔබට නීති-විරෝධී නියෝග ප්‍රතික්ෂේප කල හැකි යි. නීතිය හෝ අපේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන නියෝග කිසිවෙක් අනුගමනය කල යුතු නෑ.
මෙය, මිලිටරි කුමන්ත්‍රනයකට මැදි වූ සිවිල් දේශපාලනඥයන් භාවිතා කරන භාෂාව යි. ව්‍යවස්ථාදායක සභිකයන්ගේ වීඩියෝව සහ ට්‍රම්ප්ගේ පිලිතුර තහවුරු කරන්නේ, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ඓතිහාසික ව පෙර නුවූ විරූ බිඳවැටීමක් දැන් සිදුවෙමින් පවතින බව සහ ඩොනල්ඩ් ට්‍රම්ප් යන චරිතය එම බිඳවැටීමේ විකාරරූපී මතුපිට ප්‍රකාශනයක් පමනක් වන බව යි. අර්බුදයෙහි හේතු සහ විපාක තේරුම් ගැනීමට, මතුපිටින් ඔබ්බට විනිවිද එහි ගැඹුරු ආර්ථික හා සමාජීය මූලයන් විභාග කල යුතු වෙනවා.
මෙම ගැඹුරු විශ්ලේෂනය භාර ගෙන, ට්‍රම්ප් ඉස්මතු වුනු සමාජීය වාතාවරනයට හා ඔහු නියෝජනය කරන පන්ති අවශ්‍යතාවන්ට මෙන් ම ධනපති ක්‍රමයේ අර්බුදයටත්, ඇමරිකානු සමාජයේ පරස්පර-විරෝධයන්ටත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මුහුන දෙමින් සිටින ගෝලීය අභියෝගයන්ටත් ඔහුගේ භූමිකාව සම්බන්ධ කිරීමෙන් පමනක් ම, පාලක ප්‍රභූව සමාජ-වෛරී අපරාධකාරයෙකුගේ හස්තය මත එක්සත් ජනපද ආන්ඩුව තබා ඇත්තේ මන්දැයි, යමෙකුට විස්තර කල හැකි වෙනව
ලුයී පිලිප්ගේ පාලන සමයේ, ප්‍රන්සය පාලනය කල ධනේශ්වර ප්‍රභූව ගැන විස්තර කරමින්, මාක්ස් 1850 දී ලියූ ප්‍රන්සයේ පන්ති අරගලය නමැති ලේඛනයේ, යුක්ති යුක්ත පරිදි සුප්‍රකට ඡේදයක් පවතිනවා. මාක්ස් මෙසේ ලීවා:
ධනේශ්වර නීතියමත් නිරන්තරව කඩකරමින්, (සමාජයට) අහිතකර සහ සල්ලාල ආශාවන් ඉවබව නැතිව මුදුන්පත් කර ගැනීමක්, එනම්, සූදුවෙන් උපයාගත් ධනය එහි සන්තෘෂ්ඨිය සොයා යාමේදී ස්වාභාවිකවම, සන්තෘෂ්ටිය අශිෂ්ටත්වය බවට පත් කෙරෙන, මුදල්, අශික්ෂිතකම හා රුධිරය එකට මුසු කෙරෙන තෘෂ්නාධිකභාවයක්, විශේෂයෙන් ම ධනේශ්වර සමාජයේ මුදුනතෙන් ප්‍රකාශයට පත් වේ. මූල්‍ය වංශාධිපතික්වය වනාහි, එහි ධනය අත්පත් කරගැනීමේ ආකාරයේදී මෙන් ම එහි සන්තෘෂ්ටිය සොයා යාමේ දී, ධනේශ්වර සමාජයේ මුදුනතෙහි පාදඩ-නිර්ධන පන්තියේ යලි ඉපදීමක් මිස අන් කිසිවක් නො වේ.
මාක්ස් ජීවත් ව සිටියේ නම්, එක්සත් ජනපදයේ වර්තමාන පාලන තන්ත්‍රය පිලිබඳ ව ඔහු පහත දැක්වෙන දේ ලියනු ඇත:
වෝල් වීදියේ කතිපයාධිකාරය හා එහි සංගත සගයෝ නීතිය අයථා ලෙස පරිහරනය කරමින් හා ආන්ඩුවට වංචා කරමින්, සමාජ යථාර්ථය විකෘත කරන හා වසන් කරන දූෂිත මාධ්‍ය හරහා මහජන මතය සකස් කරති. ධවල මන්දිරය, කොංග්‍රසය, අධිකරනය හා සංගත මන්ඩල කාමරවල සිට ශාස්ත්‍රාලික ලෝකයේ ගෞරවාන්විත බලකොටු දක්වා වන සෑම ප්‍රභූ ස්ථරයකට ම, සාපරාධී වංචාව, විනිවිද පෙනෙන දූෂනය සහ පුද්ගලික ධනය සමග වන වනචර මනෝග්‍රස්තිය ආසාදනය වී පවතී. බිලියන ගනන් මුදල් නිෂ්පාදනයෙන් නො ව සමපේක්ෂනයෙන්, නය උපාමාරුවලින්, සමාජීය සම්පත් කොල්ලකෑමෙන් සහ මහජනයා දරිද්‍රතාවට ඇද දැමීමෙන් උපයා ගනු ලැබේ.
ස්වයං-සන්තර්පනය සඳහා කතිපයාධිකාරයේ බඩජාරී කෑදරකම හා තන්හාව, හුදෙක් ධනේශ්වර නීතිය සමග පමනක් නො ව, අතිමූලික සදාචාර ශික්ෂාවන් සමග ද ගැටෙයි. ධවල මන්දිරයේ සහ මාර්-ආ-ලාගෝ (ෆ්ලොරිඩාවේ පිහිටි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රසිද්ධ පෞද්ගලික වතුයාය සහ නිවාඩු නිකේතනය) ගනිකා නිවාසයේ සිට ඩොලර් බිලියන ගනන් වටිනා දේපොල දක්වා, දුර්දාන්ත හා කොල්ලකාරී අභිරුචියන් නිදහසේ රජ කරයි: බිලියනපතියන් හා ඉහල මට්ටමේ දේශපාලනඥයන් අසරනයන් රුදුරු ලෙස සූරා කෑමෙන් සිය සන්තෘෂ්ටිය තද්භව කරගනිමින්, එප්ස්ටයින් වැනි කූට ලමා ලිංගික වෙලෙන්දන්ගේ සේවාවන් සාදරයෙන් පිලිගනී. මෙම කව, මුදල් වලින්, දුරාචාරයෙන් හා ප්‍රචන්ඩත්වයෙන් වෙන් කල නො හැක.
සංගත හා ආන්ඩුවේ සාපරාධීත්වයේ සෑම රූපාකාරයක් ම වෙලා ගන්නා ධනපති පන්තියේ ක්‍රියා මාර්ගය වන්නේ, ට්‍රම්ප්ගේ “ගනුදෙනු කිරීමේ කලාව” යි: ගාසාවට එල්ල කරන ජනසංහාරක ප්‍රහාරයට යොදා ගන්නා ගුවන් යානා හා මිසයිල විකිනීම හරහා ලාභ කඳු ගසා ගැනීම, වෙනිසියුලාවේ වෙරල අසබඩ ජාත්‍යන්තර මුහුදු තුල හඳුනන්නේ නැති ධීවරයන් ඝාතනය, එක්සත් ජනපදයේ නගරවල නීති-විරෝධී ලෙස මිලිටරි බලකායන් දිගේලි කිරීම සහ සියලු නෛතික අයිතීන් උල්ලංඝනය කරමින් අයිසීඊය එක්සත් ජනපදයෙන් සංක්‍රමනිකයන් පිටුවහල් කිරීම ආදිය ඒවා ය.
සංගත-මූල්‍ය කතිපයාධිකාරය යනු, එහි ව්‍යාපාරික මෙහෙයුම් වලට හා වනචර පැවැත්මට අනුව, සාමාන්‍ය මහජනයා කාලකන්නිභාවයෙන් හා රුධිරයෙන් වැය බර දරද්දී, අපරාධ හා අපචාර ඔජ වඩවමින් ධනපති සමාජයේ මුදුනේ සිටින සුපිරි-මාෆියා කල්ලියක් මිස වෙනකක් නො වේ.
2024 නොවැම්බරයේ ට්‍රම්ප් දෙවැනි වරට තේරී පත් වූ විට, එනම් හරියට ම වසරකට පෙර, ආඥාදායකයෙකු ලෙස පාලනය ගෙන යාමට ඔහු යලි යලිත් කල තර්ජන, හුදෙක් ඔහුගේ පුද්ගලික වීරයා වන ඇඩොල්ෆ් හිට්ලර් අනුකරනය කිරීමට ඔහුට පවතින ආශාවේ ප්‍රකාශනයක් නො වන බව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවූවා. ඒ වෙනුවට, එම තර්ජනයන් පූර්වාපේක්ෂා කලේ, ඇමරිකාවේ සැබෑ පන්ති ව්‍යුහයට අනුකූල ව, එහි දේශපාලනය ප්‍රතිව්‍යුහගත කිරීම යි. ඇමරිකානු සමාජයේ අතිශය තුනී ස්ථරයක් මත විශාල වසයෙන් ධනය කේන්ද්‍රගත වීම, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ සාම්ප්‍රදායික රූපයන් සමග ගැලපෙන්නේ නැහැ.
එක්සත් ජනපදය තුල දේශපාලන ව්‍යූහය එහි පන්ති ව්‍යූහය සමග ගලපමින් තිබෙනවා. ඇමරිකානු සමාජයේ අතිමූලික ලක්ෂනය වන්නේ, සමාජ අසමානතාවේ ඇඟ කිලිපොලා යන මට්ටමයි. මෙම ප්‍රශ්නය මග හැර යමින්, ඇමරිකානු යථාර්ථය ගැන කරන කිසිදු සාකච්ඡාවක්, වහල් ක්‍රමය ගැන සඳහන් නො කරමින් පුරාන රෝමයේ දේශපාලනය ගැන කරන සාකච්ඡාවක් මෙන් බුද්ධිමය වසයෙන් නොවටිනා දෙයක් මෙන් ම, දේශපාලනික ව ප්‍රෝඩාකාරී වෙනවා. කතිපයාධිකාරය යන වචනය යොදා ගන්නේ, පූච්චානම්කාරී අලංකාරෝක්තියක් හැටියට නෙවෙයි. එක්සත් ජනපදය තුල සුවිශාල ධනය හා බලය කේන්ද්‍රගත වීම යෝග්‍ය පරිදි විස්තර කිරීමක් එයින් නියෝජනය වෙනවා.
“අසමානතාව: නව ඇමරිකානු කතිපයාධිකාරයේ නැගීම සහ අපට අවශ්‍ය න්‍යාය පත්‍රය,” නමැති වාර්තාවක්, නොවැම්බර් 3 වැනි දා ඔක්ස්ෆැම් යන මානවහිතවාදී සංවිධානය ප්‍රසිද්ධ කලා. එහි මූලික සොයාගැනීම් අතර පහත දේවල් පවතිනවා:
- එක්සත් ජනපදයේ ධනවත් ම සියයට 0.1, වත්කම්වලින් සියයට 12.6කට හා කොටස් වෙලඳපොලෙන් සියයට 24කට හිමිකම් කියයි.
- 1989 හා 2022 අතර, එක්සත් ජනපදයේ 99 වැනි සියයෙන් පංගුවට අයත් කුටුම්බයක්, මධ්‍යන්‍ය කුටුම්බයේ ධනය මෙන් සියයට 101ක් ද 20වැනි සියයෙන් පංගුවේ ධනය මෙන් 987 ගුනයක් ද හිමි කරගත්තේ ය.
- ලමුන්ගෙන් සියයට 49.8ක් ද ඇතුලු ව, එක්සක් ජනපදයේ ජනගහනයෙන් සියයට 40ට අධික පිරිසක්, දුගී හෝ පහල ආදායම් ලබන්නන් ලෙස සැලකේ.
ඔක්ස්ෆැම් වාර්තාව මෙසේ සඳහන් කරනවා:
පසුගිය වසර තුල පමනක්, ධනවත් ම බිලියනපතියන් 10 දෙනා, ඩොලර් බිලියන 698කින් තවත් පොහොසත් වුනි. 2020 පටන්, උද්ධමනයට අනුකූලව ගනනය කලවිට, ඔවුන්ගේ ධනය සියයට 526කින් ඉහල ගියේ ය. එක්සත් ජනපද ඉතිහාසයේ ආන්තික ලෙස අසමාන යුගයක් ලෙස අර්ථවත් කරන “රන් ආලේපිත යුගයේ” (Gilded Age: පිටතින් දිලිසෙන නමුත් ඇතුළත කුණු වූ යුගයක්) පැවතියාට වැඩි ධනයක්, පොහොසත් ම සියයට 0.0001ක් (මිලියනයෙන් එකක්) විසින් පාලනය කෙරේ. ...එක්සත් ජනපදයේ පහල අර්ධය කොටස් වෙලඳපොලෙන් යන්තම් සියයට 1කට හිමිකම් කියද්දී, පොහොසත් ම සියයට 1 කොටස් වෙලඳපොලෙන් භාගයක් හෙවත් සියයට 49.9කට හිමිකම් කියයි.
කම්කරු-පන්තික ඇමරිකානුවන්ගේ විශාල ස්කන්ධයක්, රටේ ධනයට සහභාගි වන්නේ ය යන කියාපෑම් වල ව්‍යාජභාවය වාර්තාව මගින් හෙලිදරවු කරනවා. එය මෙසේ ලියනවා:
එක්සත් ජනපදය සුවිශේෂී ලෙස සෞභාග්‍යමත් සමාජයක් ලෙස පවතින මතයන් නො තකා, ජාත්‍යන්තර සන්සන්දනයයන් පෙන්වා දෙන්නේ ඊට වෙනස් යථාර්ථයකි. විශාලතම ඕඊසීඩී (ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානය) ආර්ථිකයන් 10න්, එක්සත් ජනපදය සාපේක්ෂ දරිද්‍රතාව ඉහල ම රට ද, ලමා දරිද්‍රතාව හා ලදරු මරන අනුපාතිකය අතින් දෙවැනි ඉහල ම රට ද ආයු අපේක්ෂාව අතින් දෙවැනි පහල ම රට ද වෙයි.
මෙම දුර්වල ප්‍රතිඵල පුදුම සහගත ලෙස පෙනී යා හැකි වුවත්, ඒවා සමාජ පිලිවෙත පිලිබඳ රටෙහි බහිස්ථ තත්ත්වය සමග ගැලපෙයි. එම සමාන රටවල් කන්ඩායම ඇතුලත ම, රැකියා විරහිත ප්‍රතිලාභ සඳහා නො මසුරුභාවය අතින් එක්සත් ජනපදය අවසානයා ද ලමුන් සිටින පවුල් සඳහා රාජ්‍ය වියදම අතින් අන්තිමයාට පෙර රට ද, සමස්ත සමාජීය වියදම් අතින් හත් වැනියා ද, දරිද්‍රතාවෙන් මිදීම සඳහා අවශ්‍ය වැඩ පැය ගනන අතින් පලමුවැනියා ද වෙයි. විශාලතම ඕඊසීඩී ආර්ථිකයන් 10 අතරින්, එක්සත් ජනපදයේ බදු හා හුවමාරු පද්ධතිය අන්තිමයාට පෙර ස්ථානය දරයි.
ධනයේ ආන්තික සංකේන්ද්‍රනය, කතිපයාධිකාරී දේශපාලන බලයෙන් වෙන් කල නො හැකි යි. ට්‍රම්ප්ගේ කැබිනට්ටුව හා ඉහල තානාන්තර දරන්නන් සතු ව ඩොලර් බිලියන 60 ඉක්මවා යන සාමූහික ශුද්ධ ධනයක් පවතිනවා. මෙම පරිපාලනයේ ධනය, සියලු පූර්වගාමීන් අඟුටුමිට්ටන් බවට පත් කරනවා. මිලියන 341ක් ජනයා ජීවත් වන රටේ, ට්‍රම්ප්ගේ ධනවත් ම තානාන්තර දරන්නන් විසිපහෙන් 16 දෙනෙකු ම, රටේ බිලියනපතියන් 813 දෙනා අතර සිටිනවා. ඔවුන් ධනවත්ම සියයට 0.0001 අතර සිටින තතු තුල. මෙය සංකේතාත්මක නියෝජනයක් වන්නේ නැහැ. එය කතිපයාධිකාරය විසින් කෙරෙන ඍජු පාලනය යි.
සිය විනාශය දෙසට ගමන් කරන සෑම පාලක පන්තියක ම ලක්ෂනයක් වන්නේ, වඩ වඩා ආක්‍රමනශීලී වීම යි. එය පදනම් වන පද්ධතිය වඩ වඩා අතාර්කික වෙද්දී, එය යුක්ති යුක්ත කිරීමට දරන ප්‍රයත්නයන් වඩ වඩා ප්‍රචන්ඩ වෙනවා. ප්‍රන්ස විප්ලවයට පෙරාතු දශක කිහිපය තුල මෙයට සමාන්තරයක් සොයාගත හැකි යි. වංශාධිපතිත්වය තමන්ට අහිමි වුනු වරප්‍රසාද යලි තහවුරු කිරීමටත් තර්ජනයට ලක්වුනු පරමාධිකාරයන් ආරක්ෂා කරගැනීමටත් උත්සාහ දරද්දී, එහි විධික්‍රම වඩ වඩා ආන්තික බවටත් දරදඬු බවටත් පත් වුනා. 1760 ගනන්වල සිට 1789 දක්වා පැවති වංශාධිපති ප්‍රහාරය, ආරක්ෂාකාරී ප්‍රතික්‍රියාවක් වෙනුවට වැඩවසම් වරප්‍රසාද ඓතිහාසික ව ඛාදනය වීම ආපසු හැරවීමට දැරූ ආක්‍රමනකාරී ප්‍රයත්නයක් වුනා. වංශාධිපතිත්වය එහි අවසාන ඉරනම අවබෝධ කරගනිද්දී, එහි මංමුලාව ප්‍රකාශයට පත් වූයේ අත්තනෝමතික බලය වඩ වඩා ප්‍රචන්ඩ ලෙස යොදා ගැනීමට උත්සාහ කිරීම තුලයි. 1789 ජූලි මාසයේ විප්ලවය පුපුරා යාම සමගින් මෙම ක්‍රියාදාමය අවසානයකට ආවා.
1861-65 දෙවැනි ඇමරිකානු විප්ලවයට පෙරාතු දශකයන් තුල, දකුනේ වහල් හිමියන් වහල් ක්‍රමයට එරෙහි සෑම රූපාකාරයක් ම නීති-විරෝධී කිරීමටත් විනාශ කිරීමටත් උත්සාහ කලා. අද දින සංක්‍රමනිකයන්ට එරෙහි අයිසීඊ ඒජන්තයන්ගේ මෙහෙයුම්වලට සමාන ආකාරයකින්, 1850 “පලාගිය වහලුන් පිලිබඳ පනත” උතුරට පලාගොස් සිටි වහලුන් අල්ලා ගෙන ඔවුන්ගේ වහල් හිමියන්ට භාර දීමට, ෆෙඩරල් ආන්ඩුවේ නියෝජිතයන්ට බලය ලබා දුන්නා. වහල්හිමි බලය විසින් පාලනය කෙරුනු ශ්‍රේෂ්ඨාධිකරනය, 1857 දී වහල්ලුන් හුදු දේපොලක් පමනක් බවත්, පුරවැසියන්ට හා මානවයන්ට අදාල නීති මගින් වහලුන් ආරක්ෂා නො කරන බවත් ප්‍රකාශ කලා.
අවසානයේ, ජනාධිපති ලෙස ඒබ්‍රහම් ලින්කන්ගේ තේරී පත්වීම ප්‍රතික්ෂේප කරමින්, දකුනේ ඒකාධිපතියන් 1861 අප්‍රේල් මාසයේ දී එක්සත් ජනපදයට එරෙහි නැගිටීමක් ආරම්භ කලා. ඇමරිකාවේ කොන්ෆෙඩරේට් ජනපද (The Confederate States of America: 1860–1861 දී එක්සත් ජනපද මධ්‍යම රජයෙන් වෙන් වූ දකුණු ප්‍රාන්ත 11 ක කණ්ඩායමක්), ශිෂ්ටාචාරයේ පදනම වහල් ක්‍රමය බව ප්‍රකාශයට පත් කලා. 700,000ට අධික ජීවිත ගනනක් ගිලගත් ලේ වැකි සිවිල් යුද්ධයක්, කැරැල්ල මැඩ පවත්වා වහල් ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය වුනා.
දේශපාලන ප්‍රතිගාමීත්වයේ සහ ඓතිහාසික පරාභවයේ ඒ හා සමාන ක්‍රියාදාමයක්, අද දින එක්සත් ජනපදය තුල ක්‍රියාත්මක වෙනවා. කතිපයාධිකාරී බලය ප්‍රදර්ශනය කිරීම වඩ වඩාත් නිර්ලජ්ජිත වී ඇති අතර, ධනේශ්වර පාලනයට අවම වශයෙන් මහජන කැමැත්තේ ආවරනයක් ලබා දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවයේ ආකාරවලට සතුරු වී ඇත. වහල් ක්‍රමයේ උරුමය උත්කර්ෂයට නංවමින්, ප්‍රසිද්ධ ස්ථානවලින් හා මිලිටරි කඳවුරුවලින් ඉවත් කෙරී තිබුනු දකුනේ මිලිටරි නායකයන්ගේ ප්‍රතිමා, යලි එක්රැස් කරන ලෙසට ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. දකුනේ වර්ගවාදීන්ට-ගැති පැරනි සටන් පාඨය වූ “දකුන යලි නැගී සිටිනු ඇත” යන්න, එක්සත් ජනපද ආන්ඩුවේ පිලිවෙත බවට පත් ව තිබෙනවා.
සැප්තැම්බරය මුල දී ධවල මන්දිරයේ වේදිකාගත කරන ලද සංදර්ශනය ගැන සලකන්න: මයික්‍රොසොෆ්ට්හි බිල් ගේට්ස්, ඇපල් සංගතයේ ටිම් කුක්, ඕපන් ඒඅයිහි සෑම් ඕල්ට්මන්, ගූගල් සංගතයේ සර්ජි බ්‍රින්, මෙටාහි මාක් සකර්බර්ග් හා අනෙකුත් බිලියනපතියන් ඇතුලු තාක්ෂන ක්ෂේත්‍රයේ තථ්‍ය සමස්ත නායකත්වය සහ සංගත විධායකයන්, ජනාධිපති වාසභවන හරහා ගර්වාන්විත ලෙස ගමන් කලා, ඔවුන්ගේ පෙනී සිටීම අර්ථවත් කරන්නේ සාමාන්‍ය ආන්ඩුමය අධිකාරය මූල්‍ය හා සංගත බලයට මුලුමනින් යටත් කිරීම යි. මෙය පුද්ගලික හමුවීමක් වුනේ නැහැ. එය ප්‍රසිද්ධ මෞලි මංගල්‍යයක් වුනා. එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ක්‍රියාත්මක වන්නේ, පරපුටු කතිපයාධිකාරයේ වඩාත් ම අශ්ලීල නියෝජිතයා ලෙස යි. එතැන් සිට වැඩි කලක් යන්නට පෙර, වඩා අතිඅසාමාන්‍ය සංදර්ශනයක් පැවතුනා: එංගලන්තයේ රජු සමග ට්‍රම්ප් සහ බිලියපතියන් හා සංගත විධායකයන් දුසිම් ගනනක් වින්ඩ්සර් මන්දිරයේ දී රාත්‍රී භෝජනය භුක්ති වින්දා.
ඔවුන් මූර්තිමත් කරන ධනයේ මට්ටම ගැන ඉඟියක් දෙන්නේ නම්, මේසයේ වාඩි වී සිටි පොහොසත් ම පුද්ගලයන් දුසිම් දෙකේ සංයුක්ත පුද්ගලික වටිනාකම ඩොලර් බිලියන 274ක් වුනා. පුද්ගලයෙකුගේ සාමාන්‍ය ධනයේ වටිනාකම වන ඩොලර් බිලියන 11.4 මධ්‍යන්‍ය බ්‍රිතාන්‍ය පුද්ගලයෙකුගේ ධනය මෙන් 67,000 ගුනයකටත් වැඩි යි. වෙලඳපොල පිරිවැටුම ඩොලර් ට්‍රිලියන 17.7ක් වන සමාගම් ඔවුන් නියෝජනය කලා, එය එක්සත් රාජධානිය තුල සංස්ථාගත, ප්‍රසිද්ධියට පත් කර ඇති සෑම සමාගමක ම ඒකාබද්ධ වටිනාකමට වඩා වැඩි යි.
මෙම පුද්ගලයන් දුසිම් දෙකේ පුද්ගලික ධනයෙන් සියයෙන් පංගුවකින් යන්තම් තුනෙන් පංගුවකට හිමිකම් කියන රාජකීය පවුල, භෝජන සංග්‍රහයේ ආරාධිතයන්ගේ තත්ත්වයන් අනුව දුප්පත් වෙනවා. එහෙත්, රාජකීය පවුල මෙම මේසයට ගෙන එන්නේ, වරප්‍රසාදිත උරුමයේ දීර්ඝ ඉතිහාසයක් හෙවත් පාලනයේ හා සුඛෝපභෝගයේ සියවස් ගනනක සම්ප්‍රදායයක් වන අතර, එය නව මූල්‍ය හා සංගත වංශාධිපති පැලැන්තිය ගැඹුරින් ම ආකර්ශනීය බව දැකගන්නා දෙයක්.
ඒ අතර, ඇමරිකානු භූමිය මත, ට්‍රම්ප්, කතිපයාධිකාරී බලයට සියලු ඓතිහාසික පූර්ව-නිදර්ශනයන් ඉක්මවා යන ස්මාරකයක් ගොඩනගමින් සිටිනවා. ජනාධිපතිවරයාගේ නිවාසය සහිත මූලික චාරිත්‍රානුකූල අවකාශය ලෙස සේවය කරන ධවල මන්දිරයේ සමස්ත විධායක වාසභවන, ආසන්න වසයෙන් වර්ග-අඩි 55,000කින් සමන්විතයි. බිලියනපති ආධාරකරුවන් හා ප්‍රධාන සංගත විසින් අරමුදල් සැපයෙන ට්‍රම්ප්ගේ නව උත්සව ශාලාවේ පිරියත වර්ග-අඩි 99,000ක් වනු ඇත්තේ, ධවල මන්දිරයේ ම තරම මෙන් ආසන්න වසයෙන් දෙගුනයක් වෙමින්. ධවල මන්දිරය මාලිගාවක් බවට හැරවෙමින් පවතිනවා. මෙය පොටෝමැක් මත වර්සායි මන්දිරයක් ගොඩනැගීම වන්නේ, කතිපයාධිකාරී අධිපතිභාවය නිර්ලජ්ජිත ලෙස අවධාරනය කරමින්. පැරනි නිවාසය ද ප්‍රතිසංස්කරනය කෙරෙනවා. වරක් ලින්කන් විසින් භාවිතා කෙරුනු, යලි සැරසූ නාන කාමරයක ඡායාරූප ට්‍රම්ප් සාඩම්බරයෙන් පල කර තිබෙනවා. එහි දැන් ස්වර්නමය වැසිකිලි ආසනයක් පවතින අතර, ට්‍රම්ප්ට නව අපරාධයන් ගැන කල්පනා කරමින් හා සැලසුම් කරමින් ඔහුගේ පශ්චාත්භාගය එය මත පිහිටුවිය හැකියි.
සමස්තයක් ලෙස ගත්විට, ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාකාරකම්, යෝධ නිෂ්පාදන ධාරිතාවක්, අභිවර්ධිත තාක්ෂනයක්, ක්ෂනික ගෝලීය සන්නිවේදනයන් සහ ලෝක ආර්ථිකය තුලට ඒකාග්‍ර වී සිටින බිලයන ගනන් කම්කරුවන්ගේ සංවිධානාත්මක විභවය සහිත නවීන මිනිස් සමාජයක් මතට, ධූරාවලීගත, ඒකාධිපතිවාදී හා සුපැහැදිලි ව ප්‍රජාතන්ත්‍ර-විරෝධී පෞරානික පාලන රූපාකාර පැටවීමට උත්සාහ දැරීමක් වෙනවා. ඒකාධිපති කතිපයාධිකාරයේ පැරනි රූපයන්, ලෝක ආර්ථිකයක තාක්ෂනික හා නිෂ්පාදන යාන්ත්‍රනය සමග වාත්තු කිරීම වන මෙම කාල-විරෝධවාදය, අත්‍යසාමාන්‍ය තීව්‍රතාවකින් යුත් පරස්පර-විරෝධයන් නිර්මානය කරනවා.
දේශපාලනය තුල දිග හැරෙන ප්‍රති-විප්ලවය, අනිවාර්යයෙන් ම චින්තනයේ ප්‍රති-විප්ලවයක් මගින් සාධාරනීකරනය කෙරෙනවා.
සංගත මත පදනම් වන රාජාන්ඩුවක් සඳහා පැහැදිලි ව කෙරෙන ආයාචනය සහිත “අඳුරු බුද්ධි ප්‍රබෝධය” (Dark Enlightenment), අද්‍යතන තාක්ෂනික තාර්කිකත්වයෙහි භාෂාවෙන් සරසා, පරමාධිපතිත්වය කරා වන මෙම ප්‍රත්‍යාගමනය සඳහා දාර්ශනික සාධාරනීකරනයක් සම්පාදනය කිරීමේ ප්‍රයත්නයක් පවතිනවා. පේපෑල් ආරම්භක සහ උප-ජනාධිපති ජේඩී වාන්ස්ගේත් ගනන් නැති තවත් ෆැසිස්ට්වාදී දේශපාලනඥයන්ගේත් ආධාරකරුවා වන පීටර් තියෙල්, “වඩාත් වැදගත් ලෙස නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් ගැලපේ යයි මම විශ්වාස නො කරමි” යි 2009 දී ලිවුවා. අඳුරු බුද්ධි ප්‍රබෝධයේ තවත් “දාර්ශනිකයෙක්” වන කර්ටිස් යාවින්, ප්‍රධාන විධායක නිලධාරී-රජෙක් පරමාධිපත්‍යය දරන සංගතයක් ලෙස ආන්ඩුව ව්‍යුහගත කල යුතු යයි යෝජනා කර තිබෙනවා.
අප හුදෙක් අත්දකිමින් සිටින්නේ, අසීමිත කෑදරකම හා බලයට පවතින ආශාව විසින් ධාවනය කෙරෙන උන්මත්තක පුද්ගලයන්ගේ ජුගුප්සාජනක හා අතාර්කික ක්‍රියාවන් පමනක් ද? නැතහොත්, ධනපති සමුච්ඡයකරනයේ අභ්‍යන්තර නීතීන් තුල මුල් බැස තිබෙන වඩා ගැඹුරු වෛෂයික පදනමක් මෙම ප්‍රපංචයන්ට පවතිනවා ද?
සදාචාරාත්මක කෝපය -එම කෝපය කොතරම් සාධාරන විය හැකි වුවත්- මත පදනම් ව ධනවාදය ගැන කරන විවේචනයක්, ධනවාදයට එරෙහි විප්ලවවාදී අරගලයකට පදනම සම්පාදනය නොකරන නිසා, මෙම ප්‍රශ්නයට නිවැරදි පිලිතුරක් අත්‍යවශ්‍ය වෙනවා. ගාසාවේ ජන සංහාරයට එරෙහි නොගිනිය හැකි තරම් මහජන විරෝධතා පැවතී තිබුනත්, එම විරෝධතාවන් තුල සමස්තයක් ලෙස තිබී නැත්තේ, ජනසංහාරය සහ පවතින ධනපති-අධිරාජ්‍යවාදී පද්ධතිය අතර සබඳතාව පිලිබඳ විද්‍යාත්මක අවබෝධයක් මත පදනම් වන යථාර්ථවාදී දේශපාලන ඉදිරි දර්ශනයක් හා ක්‍රියා මාර්ගයක්. එවන් විශ්ලේෂනයකින් තොර වූ කල, එම විරෝධතාවන් ඊස්රායලයට අනුග්‍රහය දක්වන හා එය ආරක්ෂා කරන අධිරාජ්‍යවාදී ආන්ඩුවලට හා සංගතවලට ඒවායේ සහයෝගය ඉවත් කරගන්නා ලෙස කරන ආයාචනයක් බවට පත් වුනා.
නොවැම්බර් 12දා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතේ පල කරන ලද ලිපියක්, එවන් ආයාචනාවල නිරර්ථක භාවය හෙලිදරවු කරනවා. “ගාසාවේ යුද්ධය එක්සත් ජනපද සමාගම් සඳහා මහා ව්‍යාපාරයක් වී තිබේ” යන මාතෘකාව සහිත එම ලිපිය මෙසේ වාර්තා කරනවා:
බෝයිං, නෝත්‍රොප් ගෘම්මාන් සහ කැටපිලර් වැනි විශාල එක්සත් ජනපද සමාගම්වලට සැලකිය යුතු ව්‍යාපාර ජනනය කරමින්, එක්සත් ජනපදයේ සිට ඊස්රායලයට පෙර නුවූ විරූ ආකාරයේ අඛන්ඩ යුද්ධායුද ගලා යාමක් මෙම ගැටුම මගින් ගොඩනැගුනි.
2023 ඔක්තෝබරයේ පටන්, ඊස්රායලයට එක්සත් ජනපදයේ ආයුධ විකිනීම් ඉහලගොස් තිබෙන්නේ, එම කාලය පුරා ඊස්රායල මිලිටරියට ඩොලර් බිලියන 32ට අධික වටිනාකමින් යුත් යුද්ධෝපකරන, වෙඩි උන්ඩ හා අනෙකුත් උපකරන විකිනීම වොෂින්ටනය විසින් අනුමත කිරීමෙන් බවට වන රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනාවරනයන් ගැන වෝල් ස්ට්‍රීට් ජ‘නලයේ විශ්ලේෂනයක් වාර්තා කරනවා.
සදාචාරාත්මක කෝපය දේශපාලනික ක්‍රියාවන් සඳහා ඵලදායී දිශාවක් සම්පාදනය කරන්නේ නැහැ. ඒ වෙනුවට, පාලක පන්තියට කරන සදාචාරාත්මක ආයාචනාවන් ඵල නො දැරීම සාමාන්‍යයෙන් අපේක්ෂා භංගත්වයට, අසුභවාදයට සහ දිරිසුන් වීමට හේතු වෙනවා. තව ද එය, අව්‍යාජ විප්ලවවාදී ඉදිරි දර්ශනයකට මාරාන්තික බවින් අඩු නොවන්නේ, එය පාලක ප්‍රභූන්ගේ බලය විශාල ලෙස අතිශයෝක්තියට නැංවීමට තුඩු දෙන නිසා. ධනපති ක්‍රමය තුල ගිලී පවතින හා විප්ලවවාදී පුපුරා යාමකට කොන්දේසි නිර්මානය කරන පරස්පර-විරෝධයන් මතුපිටින් දැකගත නො හැකි යි. සියල්ලට වඩා බලගතු දෝෂය වන්නේ, ධනවාදයට එරෙහි අරගලය තුල කම්කරු පන්තියේ කේන්ද්‍රීය භූමිකාව නො තකා හැරීම සහ ප්‍රතික්ෂේපනය පවා සිදු කිරීමයි.
පාලක පන්තියේ අපරාධ හා ම්ලේච්ඡ ක්‍රියා හුදෙක් නරක චරිතයක රෝග ලක්ෂන පමනක් නෙවෙයි; ඒවා පිලිබිඹු කරන්නේ, තම අභ්‍යන්තර පරස්පර-විරෝධයන් ජය ගැනීමට පද්ධතියක් විසින් තරනු ලබන මංමුලා සහගත අරගලයි. කතිපයාධිකාරයේ ප්‍රචන්ඩත්වය සහ එහි බලය දරන්නන්ගේ නිර්ලජ්ජිත භාවය හා ඒකාධිපතිවාදය කරා පිරිහීම යන මේ සියලු දේවල් ප්‍රකාශයට පත් කරන්නේ, ධනපති නිෂ්පාදන මාදිලියේ ම ආන්තික අර්බුදය යි.
මෑත අවුරුදුවල දී, “මූල්‍යකරනය” යන වචනය, එක්සත් ජනපදයේ හා ලෝකයේ ධනවාදී ආර්ථිකයේ ව්‍යුහය තුල සාරභූත වෙනසක් ගැන කරන විස්තරයක් ලෙස පොදු භාවිතාවට පැමින තිබෙනවා. ලාභ හා ධනය ජනනය කිරීම, නිෂ්පාදන ක්‍රියාදාමයෙන් වඩ වඩා ආන්තික ලෙස වෙන්වීමක් එමගින් අර්ථවත් කරනවා. සුරැකුම්පත් විකිනීම, නය දීම සහ සමපේක්ෂනාත්මක ආයෝජනවල සියලු ආකාරයන් හරහා, එනම් මූල්‍යමය ගනුදෙනු හරහා සංගත ඒවායේ ලාභවලින් විශාල පදාසයක් අත්පත් කර ගන්නවා. සැබෑ නිෂ්පාදන ආර්ථිකයට සාපේක්ෂ ව බැංකු සහ ආයතනික ආයෝජකයන්ගේ වර්ධනය, මූල්‍යකරනයේ ප්‍රධාන ලක්ෂනවලට ඇතුලත් වෙනවා; ද්විතීයික, සුරක්ෂිත නය වැනි සංකීර්න මූල්‍යමය උපකරනවල ප්‍රගුනනය සහ නයවර හා නය, දැවැන්තව ප්‍රසාරනය වීම මෙයට ඇතුලත් වෙනවා.
වර්තමාන නිෂ්පාදන ආර්ථිකයට වඩා වැඩි අනුපාතයකට හෝ ඉන් ස්වාධීන වූ අනාගත ධනයකට හිමිකම් කියන ව්‍යාජ ප්‍රාග්ධනය දැවැන්තව වර්ධනය වීම මූල්‍යකරන ක්‍රියාදාමය සමග අවියෝජනීය ලෙස බැඳී තිබෙනවා. කොටස් වෙලඳපොලේ ආයෝජනයක් යනු නිෂ්පාදනයේ දී තවමත් සාක්ෂාත් කර ගෙන නොමැති සහ කිසිදා සාක්ෂාත් කරගත නොහැකි විය හැකි අනාගත ලාභ සඳහා හිමිකම් පෑමකි.. 2000 හා 2020 අතර කාලයේ, සැබෑ ආර්ථිකය තුල කෙරෙන ශුද්ධ නව ආයෝජනයක සෑම ඩොලරයකට ම, මූල්‍ය වගකීම් තුල ඩොලර් හතරක් පමන නිර්මානය කෙරුනා. මේ අනුව, මූල්‍යකරනයේ සහ ව්‍යාජ ප්‍රාග්ධනයෙහි වර්ධනයේ ක්‍රියාදාමය, කල්ගත වීමත් සමග, අඛන්ඩ ව ඉහල යන වත්කම්වල වටිනාකම් මත ආයෝජකයන් පදනම් වන පොන්සි සැලසුමකට (Ponzi scheme) සමාන ආර්ථිකයක් නිර්මානය කරනවා. නිෂ්පාදනය සහ භාන්ඩ හා සේවාවන් විකිනීම මත පදනම් වන සැබෑ ඉපයීම්වලට, සමාගමක වත්කම්වල කොටස් වෙලඳපොල තක්සේරුව කවර සම්බන්ධයක් දරන්නේදැයි සොයාබැලීමට, ඇති තරම් අවධානයක් යොමු කෙරෙන්නේ නැහැ.
ක්‍රමානුකූල ව, මෙය මායාකාරී ධනයේ ලෝකයක් නිර්මානය කර තිබෙනවා. එක්සත් ජනපදයෙහි සමස්ත දල දේශීය නිශ්පාදිතය ඩොලර් ට්‍රිලියන 30ත් 30.5ත් අතර වන බවට තක්සේරු කෙරෙනවා. එහෙත් එක්සත් ජනපදයේ ලැයිස්තුගත සමාගම්වල සමස්ත වෙලඳපොල පිරිවැටුම, මේ වසරේ ඔක්තෝබරය වන විට ආසන්න වසයෙන් ඩොලර් ට්‍රිලියන 69ත් 71ත් අතර අගයකට ලඟා වුනා. ප්‍රසිද්ධියේ විකිනෙන එක්සත් ජනපද කොටස්වල සමස්ත වටිනාකම, එම නිසා, එක්සත් ජනපදයේ වාර්ෂික ආර්ථික ප්‍රතිදානයේ තරම මෙන් දෙගුනයකටත් වැඩි -සියයට 220ක්- වෙනවා.
මෙය එක්සත් ජනපද ආර්ථිකය සහ කොටස් වෙලඳපොල අතර සබඳතාවයේ ඓතිහාසික ප්‍රතිවර්තනයකි. 1971 දී සමස්ත වෙලඳපොල පිරිවැටුම ආසන්න වසයෙන් දල දේශීය නිශ්පාදිතයෙන් සියයට 80 ක් වුනා. එය, අද පවතින අගයෙන් හතරෙන් පංගුවක් පමන වෙනවා. මෙහි අර්ථය වන්නේ, ගෙවී ගිය වසර 50 පුරා, භාන්ඩ හා සේවා නිෂ්පාදනයට වඩා ඉතා අධික වේගයකින් මූල්‍ය වත්කම්වල වටිනාකම වැඩී ඇති බව යි. මූල්‍යමය ධනය සහ සමපේක්ෂන ප්‍රාග්ධනය සැබෑ ආර්ථිකයෙන් වියෝ වී පවතිනවා.
වෙලඳපොලේ නාමික වටිනාකම අතර තිබෙන මෙම අපාලිත සබඳතාව හුදෙක් ආර්ථික ව අපාලිත වනවා පමනක් නො ව, ඇලන් ග්‍රීන්ස්පෑන්ගේ සුප්‍රකට වාක්‍යාංශය යොදා ගන්නේ නම්, “අතාර්කික සමෘද්ධියේ“ සංඥාවක් වෙනවා. එය එක්සත් ජනපද ධනවාදයෙහි ඓතිහාසික පරිහානියේ ප්‍රකාශනයක් වෙනවා.
සත්‍ය වසයෙන් ම, එහි ඓතිහාසික සන්දර්භය තුල බහා විභාග කරන කල, ඇමරිකානු ධනවාදයෙහි ආර්ථික ගමන් මාවතේ මූලික දියබෙත්මක් 1971 වසර සලකුනු කලා.
1944 බ්‍රෙට්න් වුඩ්ස් ආර්ථික සම්මේලනයේ දී ස්ථාපිත කර තිබුනු, දෙවැනි ලෝක යුද්ධයට පසුකාලයෙහි ලෝක ධනපති ආර්ථිකයෙහි ප්‍රතිස්ථාපනයේ පදනම් ලෙස සේවය කල, රත්තරන් අවුන්සයකට ඩොලර් 35ක අනුපාතයකින් පරිවර්තනය කිරීමේ හැකියාව, 1971 අගෝස්තුවේ දී ජනාධිපති රිචඩ් නික්සන් අවසන් කලා. ඩොලර්-රත්තරන් පරිවර්තනය කිරීමේ හැකියාවේ පදනම වුනේ, ඇමරිකානු ධනවාදයේ අතිමහත් නිෂ්පාදන බලය සහ එහි ආධිපත්‍යධාරී භූමිකාව යි. විදේශීය රටවල් දරා සිටි ඩොලර් රත්තරන් සමග හුවමාරු කිරීමේ හැකියාවට දුන් පොරොන්දුවට යටින්, එක්සත් ජනපදයේ සුවිශාල වෙලඳ හා ගෙවුම් ශේෂ අතිරික්තයන් පැවතුනා.
එහෙත් 1950 ගනන් හා 1960 ගනන් පුරා, යුරෝපය සහ ජපානය ඒවායේ යුද්ධයෙන් විනාශ වුනු ආර්ථිකයන් යලි ගොඩනැගූ සන්දර්භය තුල, එක්සත් ජනපදයේ ආධිපත්‍යය අනවරත ව ඛාදනය වුනා. එහි වෙලඳ අතිරික්තයන් නොකඩවා ගිලී යද්දී, ඩොලර්-රත්තරන් පරිවර්තනයට එහි කැපවීම වඩ වඩා අශක්‍ය බවට පත් වුනා. ඩොලරය ඛාදනය වී එහි රත්තරන් සංචිත ක්ෂයවීම ගැන බිය වූ නික්සන්, 1944 දී බ්‍රෙට්න් වුඩ්ස්හි දී එලැඹුනු එකඟතාවන් බිඳ දැමීමට කටයුතු කලා.
මෙම තීරනය ගෝලීය ආර්ථික කම්පන ධාරා ජනනය කලා. ඩොලර්වලින් මනින තෙල් මිල හතර ගුනයකින් ඉහල ගියා, ඩොලරය දැවැන්තව අවප්‍රමානය වුනා, එම ක්‍රියාදාමය පසුගිය අඩ සියවස තුල අඛන්ඩ ව සිදු වී තිබෙනවා.
අවුන්සයකට ඩොලර් 35 සිට ඩොලර් 4,000ට වැඩි ගනනක් දක්වා රත්තරන් මිලෙහි නැගීම, එක්සත් ජනපද ඩොලරයේ මූර්ත අගය දීර්ඝ-කාලීන ව ඇදවැටීමේ යථා වෛෂයික මිනුමක් නියෝජනය කරනවා. මේ අනුව, රත්තරන්වල වටිනාකම සිය ගුනයකටත් වැඩියෙන් ඉහල යාම, රත්තරන්, ආවේනික ව “වැඩි වටිනාකමක්” අත් කරගැනීමක් නොව, ඩොලරය එහි ක්‍රය ශක්තිය හා විශ්වාසවන්ත භාවය අහිමි කරගැනීමේ ප්‍රකාශනයක් වෙනවා.
දශක ගනනාවක් පුරා පොදු මිල මට්ටමේ නියෝජනයක් ලෙස අයෙක් ඩොලරය ගන්නේ නම්, සිය ගුනයක ඉහල යාමකින් ගම්‍ය වන්නේ, ඩොලරයේ මූර්ත වටිනාකමේ සන්සන්දනාත්මක ඛාදනයක්, එනම්, දල වසයෙන් සියයට 99ක පිරිහීමක්. බ්‍රෙට්න් වුඩ්ස් පද්ධතියෙහි අවසානයේ සිට උද්ධමනයේ, මූල්‍ය ප්‍රසාරනයේ සහ අඛන්ඩ නය මූල්‍යකරනයේ සමුච්ඡිත බලපෑම, තවත් දර්ශකය කිහිපයකින් තියුනු ලෙස ප්‍රකාශයට පත් කෙරෙනවා.
ගෝලීය ආර්ථික තත්ත්වයේ මිනුමක් ලෙස ගත් විට, ඩොලර්-රත්තරන් පරිවර්තන ක්‍රමයේ අවසානය අර්බුදයක ප්‍රකාශනයක්. එහෙත්, නය හා හිඟයන් සමුච්ඡය වීම මත පනවා තිබූ ආර්ථික ව තාර්කික වූ සීමාවන් ඉවත් කිරීම මෙම තීරනයේ විපාකයක් වුනා. ඩොලර් මුද්‍රනය කිරීම මගින්, එක්සත් ජනපදයට එහි නය හා හිඟයන් පියවා ගත හැකි වුනා.
නය ප්‍රසාරනය කිරීම සහ මෑත දශක කිහිපය තුල පෙර නුවූ ප්‍රමානාත්මක ලිහිල් කිරීම හරහා, 1971 පටන් එක්සත් ජනපදය එහි හිඟයන් පියවීමට මුදල් සපයා ගෙන තිබෙනවා. 1971 දී ඩොලර් බිලියන 400 සිට අද ඩොලර් ට්‍රිලියන 38 දක්වා ඉහල ගිය ෆෙඩරල් නයෙහි පුපුරන සුලු වැඩි වීම, ඩොලරය තිරසාර වන්නේ පරිවර්තනය කිරීමේ හැකියාවෙන් නොව ඩොලර් වත්කම් සඳහා වන ගෝලීය ඉල්ලුමෙන් බව අවධාරනය කරනවා: මෙම ඉල්ලුම පීඩනයට ලක්ව ඇති බව දැන් පෙනෙන්නට තිබෙනවා.
එක්සත් ජනපද මූල්‍ය පිලිවෙතේ විශ්වාසවන්තභාවය පිලිබඳ ජාත්‍යන්තර ජනමත විචාරනයක් ලෙස රත්තරන් මිල ක්‍රියාකාරී වෙනවා. ඩොලර් 35 සිට 4,000 දක්වා එහි නැගීමෙන්, ඩොලරයේ පදනම අහිමි වී යාමට එරෙහි පලල් හා දීර්ඝ-කාලීන ඉදිරි රැකීමක් (hedging) පිලිබිඹු කෙරෙනවා. ගෝලීය සංචිතවල ඩොලරයේ පංගුව ඛාදනය වීම, මහ බැංකු විසින් රත්තරන් කරා විවිධාංගීකරනය කිරීම සහ ඩොලර් මගින් ගනුදෙනු නො කරන වෙලඳ සැකසුම්වල වර්ධනය යන සියල්ල මෙම රැල්ල සමග පෙල ගැසෙනවා.
එවන් නාටකාකාර වටිනාකම් වෙනස් වීමක්, හුදෙක් උද්ධමනය පමනක් නොව, ඩොලරයේ වටිනාකම් පදනමේ ඓතිහාසික විසිරී යාමක් ද අර්ථවත් කරනවා. ස්ථාවර වෙලඳ හිඟයන්, කාර්මිකහරනය, නය මත රැඳීම, මූල්‍යකරනය ආදී වශයෙන් දැන් එක්සත් ජනපදයේ ආධිපත්‍යයෙහි පලල් ඛාදනයේ ධාවනයට යටින් පවත්නා පරස්පර-විරෝධයන් එයින් ප්‍රකාශයට පත් වෙනවා.
ඩොලරයේ කඩා වැටීම හුදෙක් මූල්‍යමය ප්‍රපංචයක් පමනක් නෙවෙයි. පසුගිය දශක පහ පුරා, එක්සත් ජනපදයේ ආර්ථික හා භූ-දේශපාලනික ආධිපත්‍යයේ ඛාදනය වීම, සමුච්ඡිත, පද්ධතිමය ස්වභාවයක් අත් කරගෙන තිබෙනවා. වඩාත් ම හොඳින් දැකගත හැකි දර්ශකය වන්නේ, රටෙහි බාහිර මූල්‍ය තත්ත්වයේ ඇද වැටීමයි. 1990 ගනන් මුල සිට, එක්සත් ජනපදය අබාධිත හා සදා පලල් වන වෙලඳ හිඟයන් වාර්තා කර තිබෙනවා; 1990 දී දල වසයෙන් ඩොලර් බිලියන 100ක් වූ වාර්ෂික භාන්ඩ හිඟය, දැන් ඩොලර් ට්‍රිලියන 1 ඉක්මවා යනවා. රටෙහි කාර්මික පදනම හිස් ව යාමත්, පරිභෝජනය සහ වත්කම් බුබුලු පවත්වාගෙන යාමට ගෝලීය මූල්‍ය ගලා ඒම් මත රඳා පැවැත්මත්, මෙම දුස්සාධ්‍ය අසමතුලිතතාව මගින් ප්‍රකාශයට පත් වෙනවා. එක්සත් ජනපදයේ ශුද්ධ ජාත්‍යන්තර ආයෝජන තත්ත්වය -මෙය 1980 ගනන් මුල තරම් මෑතක් දක්වා ම ධනාත්මක වුනා- ඩොලර් ට්‍රිලියන 18කට කිඳී ගොස් තිබෙන්නේ, ලෝක ඉතිහාසයේ විශාලතම නයකරුවාගේ තත්ත්වය වාර්තා කරමින්.
එක්සත් ජනපදය නයෙහි ගිලෙමින් පවතිනවා. මීට වසර පනහකට පෙර, 1975 දී, එනම් බ්‍රෙට්න් වුඩ්ස් පද්ධතිය බිඳ වැටීමෙන් ඉක්බිති ව සහ මූල්‍යකරන ක්‍රියාදාමය ආරම්භයේ දී, ජාතික නය ප්‍රමානය ඩොලර් බිලියන 533ක් වුනා. 1985 වන විට, එය ඩොලර් ට්‍රිලියන 1.8 දක්වා තුන් ගුනයකින් වැඩි වී පැවතුනා. 2005 දී ජාතික නය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 7.9ක් වුනා. 2008 මූල්‍ය කඩා වැටීමට ප්‍රතිචාර වසයෙන්, ෆෙඩරල් රිසර්ව් බැංකුව වෝල් වීදියට ඇප දී ගලවා ගැනීමෙන් පසු, ජාතික නය ප්‍රමානය පුපුරා ගියා. 2015 වන විට එය ඩොලර් ට්‍රිලියන 18.1 දක්වා ලඟා වුනා. 2020 දී, වෝල් වීදියට යලි වතාවක් ඇප දීමෙන් ඉක්බිති, නය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 27ට ලඟා වුනා. 2025 වන විට, ජාතික නය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 38ක් ව පවතිනවා.
සියවස් භාගයක අවකාශය තුල, ජාතික නය ප්‍රමානය ආසන්න වසයෙන් සියයට 6,000කින් වර්ධනය වී පවතිනවා. එම කාලය තුල ම, දල දේශීය නිෂ්පාදිතය වැඩී ඇත්තේ සියයට 1,321කින් පමනයි. මෙහි අර්ථය වන්නේ, එක්සත් ජනපදය නිෂ්පාදනය කරන සියලු නිමි භාන්ඩ හා සේවාවල සමස්ත වෙලඳපොල වටිනාකම මෙන් පස් ගුනයක් වැඩියෙන් ජාතික නය වැඩී ඇති බව යි.
තරමක් කෙටි කාල රාමුවක් ගන්නේ නම්, 2000 සිට 2005 දක්වා ශතවර්ෂ කාලක අවකාශය තුල, දල දේශීය නිෂ්පාදිතය ආසන්න වසයෙන් සියයට 187කින් වැඩෙද්දී, ජාතික නය සියයට 566කින් ඉහල ගියා.
දැන් අපි පුද්ගලික නයෙහි නැගීම විභාග කර බලමු. 1975 දී, සමස්ත පුද්ගලික නය ප්‍රමානය ඩොලර් බිලියන 500ක් වුනා. 2025 තුන්වන කාර්තුවේ දී, උකස් තැබීම්, නයවර කාඩ්පත් නය, මෝටර් රථ නය, ශිෂ්‍ය නය සහ නිවාස කොටස් නය ආදිය ඇතුලු, සියලු ආකාරයන්ගේ පුද්ගලික නයවල සමස්ත ප්‍රමානය, ඩොලර් ට්‍රිලියන 18.59ක් වෙනවා! මෙය 36-ගුනයක ඉහල යාමක්.
එම කාල සීමාව තුල ම, ඇමරිකානුවන් පහල සියයට 90හි වාර්ෂික ආදායම එකතැන පල් වෙමින් පැවතී තිබෙනවා. අතිමහත් බහුතර ඇමරිකානුවන්ගේ නය ප්‍රමානය, ඔවුන්ගේ සමස්ත කුටුම්බ ධනයෙන් ආසන්න වසයෙන් තුනෙන් පංගුවක් වෙනවා. ජනගහනයේ පහල අර්ධය සඳහා, නය ප්‍රමානය, කුටුම්බ ධනයට දක්වන අනුපාතය සැලකිය යුතු ලෙස විශාල යි. 2020 හා 2024 අතර, ඇමරිකානුවන් මිලියන 2.45ක් බංකොලොත්භාවය සඳහා අයදුම් කලා. මේ වසරේ සැප්තැම්බරය වන විට, ඇමරිකානුවන් 374,000ක් බංකොලොත් භාවය සඳහා අයදුම් කලා. මේ වසර අවසානය වන විට, 2025 වසරේ සමස්ත බංකොලොත්වීම් ගනන 2024 වසරේ සංඛ්‍යාව ඉක්මවා යාවි.
ඉතා මෑත සංඛ්‍යාවන්ට අනුව, ඇමරිකානුවන්ගෙන් ආසන්න වසයෙන් සියයට 75ක් පමන “පඩිපතෙන් පඩිපතට ජීවත් වෙනවා. මෙහි අර්ථය වන්නේ, හදිසි අවස්ථාවක් පැන නැගුනහොත්, ඒවා ආවරනය කරගැනීමට ඔවුන්ට මුදල් නැති බව යි. ඇමරිකානුවන් කෝටි ගනනක් ජීවත් වන්නේ දුගී බව අද්දරයි.
ප්‍රන්ස විප්ලවයේ මුව විට දී, ඩිකන්ස් ප්‍රන්සය ගැන කල සුප්‍රකට විස්තරය වන “හොඳ ම කාලයන් ...නරක ම කාලයන්” වර්තමාන ඇමරිකාවටත්, මුලු ලෝකයට මත් අදාල වෙනවා. බොහෝ ඇමරිකානුවන් ආර්ථික ව්‍යසනයේ විවිධාකාර මට්ටම්වල ජීවත් වන අතරේ, අතිශය කුඩා කොටසක් සතුව, නවීන යුගයේ නොහොත් සමහර විට ලෝක ඉතිහාසයේ පූර්වාදර්ශයක් නො පවතින මට්ටමක ධනයක් තිබෙනවා. මෙම වාර්තාව තුල විමර්ශනය කිරීමේ අවශ්‍යතාවක් නොවන තරම් පලල් ලෙස බහු-බිලියනපතියන්ගේ සමස්ත ධනය වාර්තා කෙරී පවතිනවා. එලන් මස්ක්ගේ ඩොලර් ට්‍රිලියන 1 පඩි පැකැට්ටුව නිවේදනය කිරීමෙන් පසුව, ඔරැක්ල් සංගතයේ ප්‍රධානී ලැරී එලිසන්ගේ පුද්ගලික ධනය එක් දිනක් තුල ඩොලර් බිලියන 100කින් ඉහල ගිය බව කියවීමට ලැබීම පුදුමයක් නො වන අතර, කීම පමනක් ප්‍රමානවත් වෙනවා.
එහෙත්, කතිපයාධිකාරීන්ගේ මහා ධනස්කන්ධයේ අහස උසට නැගි පරිමානය, එක්සත් ජනපද හා ගෝලීය ආර්ථිකයේ මූල්‍යකරනය සමග සමීප ව බැඳී තිබෙන බව අවධාරනය කල යුතු යි. ඔවුන්ගේ පුද්ගලික ධනය ගොඩනැගෙන්නේ, ව්‍යාජ ප්‍රාග්ධන කන්දක් මත යි. සැබෑ වටිනාකම් නිෂ්පාදනය කිරීම වෙනුවට, කොටස් වටිනාකම් මත හිමිකම් පිම්බීමෙන් ධනය ව්‍යුත්පන්න කරගන්නා, මූල්‍ය පරපෝෂිත භාවයේ මූර්තිය වන්නේ එම කතිපයාධිකාරීන්. වත්කම් මිල උද්ධමනය, උත්තෝලනය, කොටස් යලි මිලට ගැනීම, ව්‍යාපාර බද්ධ කිරීම හා අත්පත් කරගැනීම, නය සුරැකුම, ව්‍යුත්පන්නයන් හා කොටස් නිකුතුවලට ඔවුන් ඔවුන්ගේ ධනය ගැන නයගැති වෙනවා. කතිපයාධිකාරීන් විසින් මිල දී ගන්නා සහ ඔවුන්ගෙන් අල්ලස් ලබා ගන්නා ජනාධිපතිවරුන්, කොංග්‍රස් සභිකයින් හා කොංග්‍රස් සභිකාවියන්, විනිසුරුවන් හා ආන්ඩුවේ පරිපාලකයන් ඒකාබද්ධ ව, මෙම මෙහෙයුම්වල නෛතිකකරනය හා සාර්ථකත්වය තහවුරු කරනවා.
ධනෝත්පාදනය පවත්වාගෙන යන ක්‍රියාදාමයන් හා පිලිවෙත්වලට, බිලියන ගනන් ජනයා ආන්තික දුගී භාවයට ඇද දැමීම පමනක් නො ව, (වෙලඳපොලවල් හා තීරනාත්මක සම්පත්වල පාලනය ගැනීමට) නො නවතින යුද්ධ හා පාරිසරික විනාශය අවශ්‍ය වීම නිසා ඔවුන්ගේ ධනය සතුව මාරාන්තික හා සමාජීය වසයෙන් සාපරාධී ස්වභාවයක් තිබෙනවා.
මම උපුටා දක්වා ඇති සංඛ්‍යා ලේඛන මෙන් ම ඉදිරිපත් කල හැකි තවත් දීර්ඝ ලැයිස්තුවක්, නවීන ධනවාදයේ සමාජීය ව පසුගාමී, ප්‍රතිගාමී හා සාපරාධී ස්වභාවය නිෂ්ප්‍රභ කල නො හැකි ලෙස ප්‍රදර්ශනය කිරීමක් වෙනවා. නමුත් තවමත් මෙම ප්‍රශ්නය පැන නගිනවා: මෙම කරුනු ධනපති ක්‍රමයේ ඓතිහාසික බිඳ වැටීමක් ප්‍රදර්ශනය කරනවා ද? නැතහොත් එම ප්‍රශ්නය වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ නම්, ධනවාදයට විරුද්ධ ව පැන නගින මහජන විරෝධය සමාජ අසමානතාවට දක්වන කෝපාන්විත ප්‍රතිචාරයක් පමනක් වෙනවා ද, එසේත් නැතහොත්, වඩාත් ප්‍රගාඪ ඓතිහාසික අර්ථයකින්, එය, දේශපාලන ක්ෂේත්‍රයේ දී ධනපති ක්‍රමය ඇතුලත පවතින ආර්ථික පරස්පර-විරෝධයන්ට විප්ලවවාදී විසඳුමක වෛෂයික ප්‍රකාශනයක් ද?
මෙම ප්‍රශ්නයට පිලිතුරු දීමට, අද්‍යතන එක්සත් ජනපද හා ලෝක ආර්ථිකයේ මූල්‍යකරනයේ සන්දර්භය තුල, වටිනාකමේ රූපය පිලිබඳ මාක්ස්ගේ විශ්ලේෂනය හා ලාභ අනුපාතිකයේ ඛාදනය වීම ගැන ඔහුගේ විග්‍රහය විමර්ශනය කර, එහි ගම්‍යයන් අවබෝධ කර ගත යුතු වෙනවා. ප්‍රාග්ධනය කෘතියේ පලමු වෙලුම තුල මාක්ස් විස්තර කල පරිදි වටිනාකම යනු යම් දෙයක් නෙවෙයි. ඒ වෙනුවට, වටිනාකම යනු, නිෂ්පාදන ක්‍රියාදාමය තුල ප්‍රකාශනය අත්පත් කර ගන්නා සමාජ සබඳතාවක්. ධනපති ක්‍රමය තුල, කම්කරුවන් වැය කරන ශ්‍රම ශක්තිය විසින් වටිනාකම නිර්මානය කරනවා. ධනපති පන්තිය ශ්‍රමය ශක්තිය මිලට ගැනීම හරහා ලාභය ව්‍යුත්පන්න කරගන්නා අතර, කම්කරුවා, ධනපතියාට සිය ශ්‍රම ශක්තිය විකිනීමේ දී ලැබෙන වටිනාකම වන වැටුපට වඩා විශාල වටිනාකමක් ශ්‍රම ශක්තිය උපයෝගී කර ගෙන කරන නිෂ්පාදනයේ දී නිර්මානය කරනවා.
ශ්‍රම සන්තතිය ගැන මාක්ස්ගේ විශ්ලේෂනයේ දී, ප්‍රාග්ධනයේ සංරචක දෙකක් ඔහු හඳුනාගත්තා: එනම්, ශ්‍රම ශක්තිය මිලට ගැනීමට වැටුප් ලෙස ධනපතියෙක් ආයෝජනය කරන ප්‍රාග්ධනය හෙවත් විචල්‍ය ප්‍රාග්ධනය සහ භාන්ඩයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන අමු ද්‍රව්‍ය, යන්ත්‍ර-සූත්‍ර, උපකරන හා ගොඩනැගිලි ඇතුලු නිෂ්පාදන ක්‍රියාදාමයට යොදන මානව නොවන ප්‍රදානයන් වන ස්ථාවර ප්‍රාග්ධනය. ස්ථාවර ප්‍රාග්ධනය නිෂ්පාදිතයට එහි වටිනාකම මාරු කරන අතර, (කම්කරුවන් ඔවුන්ට වැටුප් ලෙස ගෙවන ලද වටිනාකම ඉක්මවා යමින් නිර්මානය කරන වටිනාකම හෙවත්) අවසානයේ ලාභය ව්‍යුත්පන්න කරගන්නා මූලාශ්‍රය වන අතිරික්ත වටිනාකම විචල්‍ය ප්‍රාග්ධනයෙන් නිර්මානය කරනවා. අතිරික්ත වටිනාකම ශ්‍රම සන්තතියේ දී වැය කරන සමස්ත ප්‍රාග්ධනයට හෙවත් විචල්‍ය හා ස්ථාවර ප්‍රාග්ධනයන්ගේ ඓක්‍යයට දරන අනුපාතය ලෙසින්, මාක්ස්, ලාභ අනුපාතය අර්ථ දැක්වූවා.
නිෂ්පාදන බලවේග වර්ධනය වීමේ දී, ස්ථාවර ප්‍රාග්ධනය, විචල්‍ය ප්‍රාග්ධනයට දරන අනුපාතය ඉහල යනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ, ලාභ අනුපාතයේ පහල වැටීමක්. ධනපති ක්‍රමය තුල නෛසර්ගික අතෘප්තියේ හා අර්බුදයේ මූලාශ්‍රය වන්නේ, මෙම නියාම-පාලිත සන්නතිය යි. අතිරික්ත වටිනාකම් නිෂ්පාදනයේ දී ශ්‍රම ශක්තියේ කාර්යක්ෂමතාව ඉහල දැමීම ඉලක්ක කර ගන්නා තාක්ෂනික නවෝත්පාදනයේ ගාමක බලය වන්නේ, ලාභ අනුපාතිකයේ පහල වැටීම ප්‍රතිතුලනය කිරීමට ධනපති පන්තිය යොදන ප්‍රයත්නයයි. වෙලඳාම, නව “ලාභ ශ්‍රම” මූලාශ්‍ර අත්පත් කර ගැනීම මෙන් ම, ස්ථාවර හා විචල්‍ය ප්‍රාග්ධනයන් අතර පවතින අනුපාතය ආන්තික ව අවාසිදායක ලෙස වර්ධනය වෙද්දී පවා, ලාභ කෘතිම ලෙස ඉහල දමා ගැනීමට නයවර හා නය මත වඩ වඩා රඳා පැවතීම යන මේ සියල්ලත් මෙම ප්‍රතිතෝලනීය සාධකයන්ට ඇතුලත් වෙනවා.
පසුගිය වසර පුරා, කෘතිම බුද්ධිය සහ එයට සම්බන්ධ ස්වයංක්‍රීයකාරක තාක්ෂනයන් තුලට සමපේක්ෂනාත්මක ආයෝජනයන් කිරීමේ උන්මාදයක, වෝල් වීදිය නිරත වී සිටිනවා. සෑම සංගත ප්‍රධාන විධායකයෙකුගේ ම සිහිනය වන්නේ එය යථාවත් කරගැනීම බව පෙනෙනවා. ශ්‍රමයේ පිරිවැය ප්‍රචන්ඩ ලෙස අඩු කිරීමේ මාවත් සොයා ගෙන තිබෙනවා. සත්‍ය වසයෙන් ම, එක්සත් ජනපදය ඇතුලත හා ජාත්‍යන්තර සංගත සුවිශාල ලෙස රැකියා කප්පාදු ක්‍රියාත්මක කරමින් සිටිනවා.
ලිපිකරු රැකියා, පාරිභෝගික ආධාර, කේතකරනය, මූල්‍ය නිරූපන ආකෘති රැකියා සහ කලින් රැකියා සම්පාදනය කල දහස් ගනන් අනෙකුත් ක්‍රියාකාරකම් අතුගා දැමීමට, ප්‍රවර්ධන පහසුකම්වල සිට මෝටර් රථ නිෂ්පාදනය, ගුවන් අවකාශය, විදුලි සන්දේශ යනාදී කර්මාන්තවල සිට බැංකුකරනය දක්වා වන සංගත සුවිශාල කෘතිම බුද්ධි (ඒඅයි) පද්ධති ක්‍රියාත්මක කරමින් සිටිනවා.
එක්සත් රාජධානියේ ප්‍රධාන සංගත, විශාල ඒඅයි-ධාවිත දොට්ට දැමීම් නිවේදනය කර තිබෙනවා. බීටී සමාගම 2030 වන විට රැකියා 55,000ක් කපා දැමීමට සැලසුම් කරන අතර, පාරිභෝගික සේවා හා ජාල කලමනාකරන ක්ෂේත්‍ර තුල ඒඅයි හා ස්වයංක්‍රීයකරනය මගින් රැකියා 10,000ක් විස්ථාපනය කිරීමට අපේක්ෂා කරනවා. අවිවා සමාගම, එය ඩිරෙක්ට් ලයින් සංගතය අත්පත් කරගැනීමෙන් පසුව, රක්ෂන මෙහෙයුම් රැකියා 2,300ක් අවසන් කරමින් සිටිනවා. බීපී සමාගම එහි කාර්යාල-පාදිත ශ්‍රම බලකායෙන් සියයට 15ක් හෙවත් රැකියා 6,200ක්, 2025 අවසානය වන විට කපා දමන අතර, එහි ප්‍රධාන විධායක මරේ ඕචින්ක්ලෝස් පිරිවැය-කප්පාදු ධාවනයේ කොටසක් ලෙස ඒඅයි කාර්යක්ෂමතාවේ ජයග්‍රහන උපුටා දක්වනවා.
එම ක්‍රියාදාමය ම බටහිර යුරෝපය හරහා හමා යනවා. ජර්මනියේ සීමන්ස් සංගතය කාර්මික ස්වයංක්‍රීයකරන රැකියා 5,600ක් කපා දමා තිබෙනවා; ලුෆ්තැන්සා සංගතය පරිපාලන රැකියා 4,000ක් කපනවා; ඉසඩ්එෆ් ෆ්‍රෙඩ්රික්ශාෆන් සංගතය ස්වයංක්‍රීයකරනයට සම්බන්ධ රැකියා අහිමි කිරීම් 7,600 සිට 14,000ක් දක්වා සිදු කරනවා; ඒඅයි ප්‍රතිව්‍යුහකරනය මධ්‍යයේ ටෙලිෆොනිකා සමාගම රැකියා 6,000 සිට 7,000 දක්වා ප්‍රමානයක් කපා දමමින් සිටිනවා.
එක්සත් ජනපදය පුරා ඇමේසන් සංගතය විධායක රැකියා 14,000ක්; යූපීඑස් සංගතය ස්වයංක්‍රීය මධ්‍යස්ථාන ඉදිකිරීම හරහා රැකියා 48,000ක්; සහ සේල්ස්ෆෝස් සංගතය ඒඅයි අනුනියෝජිතයන් යෙදීම හරහා පාරිභෝගික සේවා කම්කරුවන් විස්ථාපනය කරමින් රැකියා 4,000ක් වසයෙන් කපා දැමුවා.
තනි තනි සංගත ලඟා වන ලාභදායීත්වයේ කෙටි කාලීන ඉහල යාම් කවරක් වුවත්, අතිරික්ත වටිනාකමේ මූලාශ්‍රය වන මානව ශ්‍රමය මහා පරිමානයෙන් විස්ථාපනය කිරීමේ ශුද්ධ ඵලය වන්නේ, ස්ථාවර ප්‍රාග්ධනය, විචල්‍ය ප්‍රාග්ධනයට දක්වන අනුපාතය වේගයෙන් ඉහල නැගී, එමගින් ලාභ අනුපාතයේ ක්‍රමික පිරිහීමක් නිර්මානය කිරීමයි.
මාක්ස් විසින් හඳුනාගැනුනු ධනවාදයේ මූලික පරස්පර-විරෝධය, මෙම ක්‍රියාදාමය නිසා පෙර නුවූ විරූ මට්ටමකට තීව්‍ර වෙනවා. සමුච්ඡය වෙමින් පවතින ස්ථාවර ප්‍රාග්ධනය නඩත්තු කරගෙන යාමට අවශ්‍ය වේගයෙන්, අතිරික්ත වටිනාකමට ප්‍රසාරනය වීමට නො හැකි යි. සමස්ත පද්ධතිය ම වඩ වඩා අස්ථාවර වෙනවා. බංකොලොත්වීම්, වසා දැමීම්, අවලංගු කිරීම් සහ ස්ථාවර ප්‍රාග්ධනය විනාශ කිරීම් ආදිය ප්‍රාග්ධනය අවප්‍රමානය කිරීම, ලාභදායීත්වයෙහි අර්බුදයට දක්වන මංමුලා සහගත ප්‍රතිචාරයක් වෙනවා.
ඒඅයි මගින් මුදා හරිනු ලබන සමපේක්ෂන උන්මාදය මධ්‍යයේ පවා, මෙම නව තාක්ෂනය ක්‍රියාත්මක කිරීමේ විනාශකාරී සමාජ ප්‍රතිවිපාක පිලිබඳ උත්සුකය ඉස්මතු කරමින් පවතිනවා. ෆොරින් අෆෙයාස් සඟරාවේ මෑත ම (2025 නොවැම්බර්/දෙසැම්බර්) නිකුතුවේ පල කල “එකතැන පල්වන පර්යාය” නමැති ලිපියක් තුල, මහාචාර්ය මයිකල් බෙක්ලි මෙසේ ලියනවා:
කෘතිම බුද්ධිය ගෝලීය ප්‍රතිදානය වසරකට සියයට 30කින් ඉහල දමනු ඇතැයි සමහර පෙරදැකීම් කියා සිටිය ද එය වාර්ෂික වර්ධනයට එකතු කරනු ඇත්තේ සියයෙන් පංගු එකක් පමනක් බව බොහෝ ආර්ථික විද්‍යාඥයෝ අපේක්ෂා කරති. ඩිජිටල් කර්තව්‍යයන්වල දී කෘතිම බුද්ධිය ඉතා කාර්යශූර වුවත්, දුෂ්කරතම ශ්‍රම අවහිරතා පවතින්නේ කායික හා සමාජීය අංශ තුල යි. රෝහල්වලට ඉතා වේගවත් ස්කෑන් යන්ත්‍රවලට වඩා හෙද-හෙදියන් අවශ්‍ය කරයි; අවන්හල්වලට ඇනවුම් පෙතිවලට වඩා අරක්කැමියන් අවශ්‍ය වේ; නීතිඥයන් විනිසුරුවරුන් ව පෙලඹවිය යුතු අතර, හුදෙක් කෙටි ව්‍යාකරණ විග්‍රහයන් ඉදිරිපත් කිරීම ප්‍රමානවත් නොවේ. සැබෑ ලෝකයේ අවකාශයන් තුල රොබෝවරුන් හැසිරවීම අසීරු වන අතර යාන්ත්‍රික ඉගෙනීම සසම්භාවී වන නිසා, වැරදීම් අනිවාර්යය වේ- එබැවින් මෙම සන්තතිය තුල මානවයන් නිරන්තරයෙන් රැඳී සිටිය යුතු ය. මැකින්සි ග්ලෝබල් සමීක්ෂන ආයතනය කෘතිම බුද්ධිය පිලිබඳ ව කල සමීක්ෂනයකට අනුව, ජනනීය ඒඅයි භාවිතා කරන සමාගම්වලින් දල වසයෙන් සියයට 80ක්, සිය ලාභ මත ඒඅයි යන්ත්‍ර සැලකිය යුතු බලපෑමක් ඇති නො කල බව වාර්තා කලේ, මෙම සීමාවන් පිලිබිඹු කරමිනි.
ඒඅයි අභිවර්ධිත ව ඉදිරියට ගිය ද, ආර්ථිකයන් නව උපකරන වටා ප්‍රතිසංවිධානය කල යුතු බැවින්, ප්‍රධාන ඵලදායිතා ජයග්‍රහන ලඟා වීමට දශක ගනනක් ගත වනු ඇත. වර්තමාන ආර්ථිකයන්ට එය ඉදිරිපත් කරන්නේ ඉතා අඩු සහනයකි. විසි එක්වැනි සියවසේ පලමු දශක තුල, ගෝලීය ආර්ථික වර්ධනය සියයට හතරේ සිට අද දින සියයට තුන දක්වා මන්දගාමී වී ඇති අතර, දියුනු ආර්ථිකයන්ගේ වර්ධනය යන්තම් සියයට එකක් පමනි. 1950 ගනන් හා 1960 ගනන්වල සියයට තුනේ සිට හතර දක්වා වූ ඵලදායීතාවේ වර්ධනය, දැන් ශූන්‍යයට සමීප අගයකට ඇද වැටී තිබේ. ඒ අතර ම, වසර 15කට පෙර පැවති දල දේශීය නිෂ්පාදිතය මෙන් සියයට 200ක සිට අද වන විට සියයට 250 දක්වා ගෝලීය නය පිම්බී ඇත්තේ, සමහර දියුනු ආර්ථිකයන් තුල සියයට 300ක් වාර්තා කරමිනි.
මහාචාර්ය බෙක්ලි උකහා ගන්නා නිගමන අඳුරුයි. “එක්සත් ජනපදය වරදකාරී සුපිරි බලයක් බවට පත්වෙමින් තිබේ ... ‘නිදහස් ලෝකයේ නායකයා‘ යන ආප්තය ඇමරිකානු කන්වලට පවා ඇසෙන්නේ බොල්හඬිනි.“
එලඹෙමින් තිබෙන්නේ, මහා බලයන් ලෝකය බෙදාහදා ගන්නා බහු-ධ්‍රැවීය විවිධප්‍රසංගයක් නො ව, 20වැනි ශතවර්ෂයේ නරක ම අංශ කිහිපයක දෝංකාරයකි; එනම්, අරගලයේ යෙදෙන රාජ්‍යයන් මිලිටරීකරනය වන, බිඳෙනසුලු රාජ්‍යයන් ඇද වැටෙන, ප්‍රජාතන්ත්‍රයන් ඇතුලතින් කුනු වෙන හා පර්යායේ උපකල්පිත ඇපකරුවා පටු ස්වයං-අවශ්‍යතාව තුල පසු බසින අවස්ථාවකි.
ඒඅයි පැමිනෙන්නේ ධනවාදයේ ගැලවුම්කරුවෙකු ලෙස නෙවෙයි. ඒ වෙනුවට එය, දැනට මත් පවතින පරස්පර-විරෝධයන් අත්‍යසාමාන්‍ය අංශකයකට විශාලනය කරනවා. ඒඅයි යටිතල ව්‍යුහයන්ට අවශ්‍ය කරන යෝධ ස්ථාවර ප්‍රාග්ධන ස්කන්ධය, අතිරික්ත වටිනාකම් ජනනය කිරීම සඳහා විශාල ලෙස අඩු කරන ලද ජීවමාන ශ්‍රම සැපයුමකට මුහුන දෙනවා. මෙය ධනවාදය ඇතුලත ජයගත හැකි පරස්පර-විරෝධයක් නෙවෙයි.
වැඩ කොන්දේසිවලට පහර දීම, සමාජ වැඩසටහන් අහෝසි කිරීම, මහා පිටුවහල් කිරීමේ වැඩසටහන්, යුද්ධ හා ජනසංහාරය වැනි වඩ වඩා ප්‍රචන්ඩ ව යන ක්‍රියාදාමයන් හරහා මෙම අර්බුදයට ප්‍රතික්‍රියා දැක්වීමට, මෙම උභතෝකෝටිකයට මුහුන දෙන පාලක පන්තිය උත්සාහ කරනවා. එහි ම අභ්‍යන්තර පරස්පර-විරෝධයන් මගින් කොටු කෙරුනු කතිපයාධිකාරය, වේගයෙන් ඉහල යන මංමුලා සහගත බවක් සමගින් කඩා පනිනවා. ඇමරිකානු නගර මිලිටරීකරනය කිරීම, ෆැසිස්ට්වාදයට සහයෝගය දීම, රුසියාවට හා චීනයට එරෙහි යුද්ධ ඉදිරියට දැමීම යන මේවා තාර්කික ව තෝරාගන්නා පිලිවෙත් නෙවෙයි. ඒවා මියැදෙන පද්ධතියක කම්පනයන්.
මෙම ජනාධිපතිවරයාගේ, ඔහුගේ පරිපාලනයේ සහ ඔහුගේ සත්කාරකයන් වන බහු-බිලියනපති සංගත අනුග්‍රාහකයන්ගේ හා සගයන්ගේ වැඩකටයුතු යමෙකු නිරීක්ෂනය කරන විට, ඔහු හෝ ඇය ස්කෝසීස් චිත්‍රපටයක් නරඹමින් සිටින සේයාවක් පෙනී යනවා. මේ ගෙවී ගිය සඳුදා (නොවැම්බර් 17), සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් වෙනුවෙන් ට්‍රම්ප් රාජ්‍ය රාත්‍රී භෝජන-සංග්‍රහයක් පැවැත්වූවා. සවුදි පාලකයාට ගෞරව කිරීම සඳහා සහභාගි වූ අය, සැප්තැම්බරයේ ධවල මන්දිරයේ පැවති උත්සවයට සහභාගි වූ සුපිරි-ධනවතුන්ගේ ම විස්තීර්න ලැයිස්තුවක් වුනා.
එක්සත් ජනපදයේ නීත්‍යානුකූල ස්ථීර වැසියෙකු හා වොෂින්ටන් පෝස්ට් විසින් සේවයේ යොදවාගත් ලේඛකයෙකු වූ ජමාල් ඛශෝගි ඝාතනය කිරීමට, බින් සල්මන් නියෝග කිරීමේ සිට ගෙවී ගොස් ඇත්තේ අවුරුදු හතක් පමනයි. සවුදි පාලන තන්ත්‍රයේ ම්ලේච්ඡ මර්දනීය ස්වභාවය හෙලිදරවු කරමින් ලිපි ලියූ ඛශෝගි ඔටුන්න හිමියා කෝපයට පත් කල අතර, ගොරතර අවසානයකට මුහුන දුන්නා.
2018 ඔක්තෝබර් 2 වැනි දා, පැවැත්වීමට නියමිත ව තිබූ තම විවාහය සඳහා ඔහුට අවශ්‍ය කල ලේඛන ලබාගැනීමට, ඛශෝගි ඉස්තාන්බූල්හි සවුදි තානාපති කාර්යාලයට ඇතුල් වුනා. ඛශෝගි තානාපති කාර්යාලය ඇතුලට පැමිනි විට, ඔහු මරා දැමීම සඳහා බින් සල්මන් 15 දෙනෙකුගෙන් යුත් සවුදි ඝාතක කල්ලියක් යවා තිබුනා. ඔහුට පිටුපසින් තිබූ දොරවල් වැසුනු විට, කාශෝගි අල්ලාගෙන ගෙල සිර කෙරුනා. ඔහුගේ සිරුරේ කොටස් වෙන් කෙරුනා. තුර්කි විමර්ශකයන් විශ්වාස කරන්නේ, ඛශෝගිගේ ශරීර කොටස් හයිඩ්‍රොෆ්ලෝරික් අම්ලය තුලට කලවම් කර හරනය කලේ යැයි. ඛශෝගිගේ ඉඟියක් වත් කිසිදා සොයාගත්තේ නැහැ.
ඛශෝගිගේ මරනය තුල ඔටුන්න හිමි කුමරාගේ භූමිකාව පිලිබඳ ව විමසූ විට, මාෆියා නායකයෙකුගේ විලාසයෙන්, “දේවල් සිද්ද වෙනවා“ යයි ට්‍රම්ප් පිලිතුරු දුන්නා.
දේවල් සිද්ධ වෙනවා!
ටෝනි සොප්රානෝගේ දේශපාලනික සාම්‍යය වන ගොරතර කල්ලිකරුවෙකු ජනාධිපති ලෙස තෝරා ගැනීම, ඇමරිකානු පාලක පන්තියේ බිඳ වැටීමට සාක්ෂි දරනවා.
සමාජවාදී විප්ලවයක් හරහා මිස වෙනත් ආකාරයකින් ප්‍රගතිශීලී පදනමකින් විසඳිය නො හැකි අර්බුදයක් නිර්මානය කර තිබෙන වෛෂයික කොන්දේසි හා ක්‍රියාදාමයන් පිලිබඳව, මම මේ දේශනයේ දී විස්තර කර තිබෙනවා. තව ද අතිමහත් බහුතර ඇමරිකානුවන් සඳහා, වේගයෙන් පිරිහී යන ජීවන කොන්දේසි, ධනවාදයට විකල්පයක් අවශ්‍යය යන ඉහල යන මනෝගතියක් දැනට මත් නිෂ්පන්න කරමින් තිබෙනවා. ලෝක ධනවාදයේ මූල්‍ය බලකොටුව වන, නිව් යෝක් නගරයේ නගරාධිපති ලෙස, සොහ්රාන් මම්දානි තෝරා පත් කරගැනීම තුල, මෙම මනෝගතිය ආරම්භක හා දේශපාලනික ව බොලඳ ප්‍රකාශනයක් සොයා ගෙන තිබෙනවා.
ඇත්ත වසයෙන් ම, මම්දානි ඔහුගේ “සමාජවාදී” පුද්ගලත්වය ප්‍රතික්ෂේප කිරීමට කාලය නාස්ති කලේ නැහැ.
ඔහුගේ තේරී පත්වීමේ සිට, මම්දානි ඛේදවාචී “පූර්න කෝබින්“ මාදිලියක සිටින්නේ, මැතිවරන උද්ඝෝෂනය සමයේ තමන් කියූ කිසිවක් බැරෑරුම් ව ගත යුතු නැතැයි, මාධ්‍යයට හා වෝල් වීදියට තහවුරු කරමින්. ඔහු තමන් ම අවමානයට පාත්‍ර කරගනිමින්, ට්‍රම්ප් සමග අවස්ථාවක් ඉල්ලීම දක්වා දුර ගොස් තිබෙනවා. ඊයේ (නොවැම්බර් 21) යහපත්ව හැසිරෙන බාලදක්ෂයෙකු මෙන් ඕවල් කාර්යාලයේ ට්‍රම්ප්ට පිටුපසින් සිටියේ, ට්‍රම්ප් ඔහු සමග විහිලු කරද්දී එය අනුමත කිරීමට හිස වනමින්.
මේ පිලිබඳ ව පුදුම වීමට කිසි දෙයක් නැහැ. කලින් සඳහන් කල කෝබින්, පොදේමෝස්හි ඉග්ලේෂියාස්, සිරිසාවේ සිප්රාස්, නොනැමෙන ප්‍රන්සය පක්ෂයේ මෙලෙන්චොන්, ඩීඑස්ඒ සංවිධානයේ සෑන්ඩර්ස් හා ඔකාෂියෝ-කෝටෙස් සහ ගිනිය නොහැකි තවත් අය හොඳින් සකස් කර ඇති මාවත මම්දානි අනුගමනය කරනවා පමනයි. මම්දානි පාවාදීමේ දේශපාලනයේ යෙදෙන ඔහුගේ සියලු පූර්වගාමීන්ගෙන් වෙන් කරන එක ම මූලිකාංගය වන්නේ, ඔහු ඔහුගේ “වාමවාදය” ප්‍රතික්ෂේප කරන වේගය හා බියගුලු නිර්ලජ්ජිත භාවය පමනයි. නගරාධිපති ලෙස ඔහුගේ කටයුතු ආරම්භ කරන තෙක් වත් බලා සිටීමට ඔහුට හැකි වුනේ නැහැ.
නොවැම්බර් 4 වැනි දා, මැතිවරනය ජයග්‍රහනය කිරීමෙන් පසු මම්දානි මෙසේ ප්‍රකාශ කලා:
සියල්ල අවසානයේ, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පාවා දෙනු ලැබූ සහ ඔහු පරාජය කල හැක්කේ කෙසේදැයි කියාදුන් ජාතියක් යමෙකුට පෙන්විය හැකි නම්, ඒ ඔහුගේ නැගීමට හැකියාව ලබා දුන් නගරය ම යි. පරම බලධාරී පාලකයෙකු බිය ගැන්වීමට යම් හෝ මාවතක් පවතී නම්, එය වනාහි, ඔහුට බලය සමුච්ඡය කරගැනීමට ඉඩ ලබා දුන් කොන්දේසි ම බිඳ දැමීම යි.
මැතිවරන රාත්‍රියේ ඔහුගේ සාටෝප වාචාලත්වයේ සිට ධවල මන්දිරයට වන්දනාවේ යාම සඳහා මාරුවීමට මම්දානිට ගත වුනේ දවස් කිහිපයක් පමනයි. බලයේ දිගට ම රැඳී සිටීමටත්, ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ කුමන්ත්‍රනය ක්‍රියාත්මක කිරීමටත්, ට්‍රම්ප්ට හැකියාව ලබා දුන් “එම කොන්දේසිවලින්” එකක් බවට, මම්දානි, ක්ෂනික ව හා ආයාසයකින් තොර ව පත්ව තිබෙනවා.
මම්දානිගේ ස්වයං-පාච්චල් වීම හුදෙක් බියගුලු කමේ අභ්‍යාසයක් පමනක් නෙවෙයි. එනම්, ධනවාදය අර්බුදයට, ෆැසිස්ට්වාදයට හා යුද්ධයට ධාවනය කරන අතර, කම්කරු පන්තිය විප්ලවයට ධාවනය කරන, ධනවාදයේ පරස්පර-විරෝධයන් කිසිදු ආකාරයකින් අවබෝධ කරගැනීමෙන් හෝ අවබෝධ කරගැනීමට උනන්දුවකින් පවා තොර, සුලු-ධනේශ්වර ව්‍යාජ-වාමවාදයට ලාක්ෂනික ග්‍රාම්‍ය තත්කාර්යවාදී දේශපාලනයක ප්‍රකාශනය ලෙස එය පවතිනවා.
මම්දානිගේ ද්‍රෝහීත්වය, අපේ යුගයේ කේන්ද්‍රීය ප්‍රශ්නය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බව යලි වතාවක් ප්‍රදර්ශනය කරනවා.
ආන්තික අර්බුදයක් පැවතීම, ධනවාදය පෙරලා දැමීම සහතික කරන්නේ නැහැ. සමාජවාදය සරල ව ම වෛෂයික නීතී ක්‍රියාත්මක වීමේ නිෂ්පාදිතයක් නෙවෙයි. පහල යමින් පවතින ලාභ අනුපාතය ස්වයංක්‍රීය ව ධනපති ක්‍රමයේ අවසානයට තුඩු දෙන්නේ නැහැ. අර්බුදය ගැඹුරු වන්නේ යම් පමනකට ද පාලක පන්තිය එහි පද්ධතිය ආරක්ෂා කරගැනීමට දරන ප්‍රයත්නයන් ද වඩ වඩා ප්‍රචන්ඩ හා අනුකම්පා විරහිත වෙනවා, ශිෂ්ටාචාරය විනාශ කිරීමේ පිරිවැය පවා දැරීමට ඔවුන් සූදානම්.
අවසාන විග්‍රහයේ දී, ධනවාදය පෙරලා දැමීම, සමාජවාදය සඳහා කම්කරු පන්තියේ සවිඥානික අරගලය මත රඳා පවතිනවා. වෛෂයික ආර්ථික සන්තතීන්, ධනවාදය පෙරලා දැමීමේ අවශ්‍යතාව හා ඊට කොන්දේසි යන දෙක ම නිර්මානය කරනවා. එහෙත්, සමාජවාදී විප්ලවය යනු ඓතිහාසික සන්තතිය තුල කම්කරු පන්තිය සවිඥානික ව මැදිහත්වීමේ ප්‍රතිඵලය යි.
20වැනි සියවසේ ඉතිහාසය මත විප්ලවවාදී අරගල ආධිපත්‍යය දැරුවා. එම අරගලවල ශ්‍රේෂ්ඨ දේශපාලන පාඩම වන්නේ, කම්කරු පන්තිය මත පදනම් වන හා කම්කරු-පන්තික බලයේ ප්‍රජාතන්ත්‍රවාදී උපකරනවලින් සහයෝගය ලබන මාක්ස්වාදී දේශපාලන පක්ෂයක නායකත්වය අවශ්‍ය බවයි. 1917 ඔක්තෝබර් විප්ලවයෙහි ජයග්‍රහනයේ පදනම වූයේ එය යි. ස්ටැලින්වාදයේ හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ පාවාදීම් හේතුවෙන් මාක්ස්වාදී නායකත්වයක් නො පැවතීම, බොල්ශෙවික් විප්ලවයෙන් පසු කාලයේ පරාජයන්ට ප්‍රධාන වසයෙන් වගකිව යුතු වූවා.
මින් පසුව, දේශපාලන ව්‍යාකූලත්වයේ හා අවමංගත කිරීමේ වසර 30ක් පැමිනියා. එහෙත්, නොවිසඳුනු හා විසඳිය නො හැකි ධනවාදයේ පරස්පර-විරෝධයන්, විප්ලවවාදී අරගලයේ නව රැල්ලකට ගාමකය සපයමින් තිබෙනවා. මෙම ක්‍රියාදාමයේ දී, එක්සත් ජනපදය තුල සිදුවන සිද්ධි කේන්ද්‍රීය හා තීරනාත්මක භූමිකාවක් ඉටු කරනවා. 20වැනි ශතවර්ෂයේ විනාශකාරී අධිරාජ්‍යවාදී යුද්ධ දෙකකින් පසුව, යුරෝපීය හා ලෝක ධනවාදය ස්ථාවර කොට ගොඩගත්තේ ඇමරිකානු ධනවාදයයි. දැන් දිග හැරෙමින් පවතින විප්ලවවාදී අරගල තුල එම භූමිකාව ඉටු කිරීමට එය සමත් වන්නේ නැහැ.
ලෝක ධනවාදයේ පැරනි ස්ථාවරකාරකයා, ගෝලීය අස්ථාවරත්වයේ විශාලතම මූලාශ්‍රය බවට දැන් පත් වී තිබෙනවා. තව ද දේශපාලනික ව වඩාත් ම ගතානුගතික සහ සමාජවාදී ආයාචනය ගෝචර නො වන්නේ යයි උපකල්පිත කම්කරු පන්තිය දැන් දේශපාලනික ව රැඩිකලීකරනය වෙමින් සිටිනවා.
ඇමරිකාව යමින් සිටින්නේ කොහාට ද? මෙම ප්‍රශ්නයට පිලිතුර වන්නේ සමාජවාදයට යන්න යි.
කම්කරු පන්තියේ දේශපාලන විඥානයේ අතිඅසාමාන්‍ය අභිවර්ධනයකට අවශ්‍ය කොන්දේසි දැන් පවතිනවා. විරෝධාභාසී ලෙස, ජීවන කොන්දේසිවලට යෝධ තර්ජනයක් එල්ල කරන එම තාක්ෂනික අභිවර්ධනය ම, විප්ලවවාදී විඥානයේ වර්ධනයට බලගතු ආයුධයක් බව සනාථ වීමට ද නියමිත යි.
ඒඅයි තාක්ෂනයේ යෝධ ශික්ෂන-විද්‍යාමය විභවය, විද්‍යාත්මක සමාජවාදයේ විප්ලවවාදී ඉදිරි දර්ශනය සමග සංයුක්ත වන විට, පෙර නුවූ විරූ ධාරිතාවන් විවෘත කරනවා. කම්කරු පන්තියේ විඥානය, ධනවාදී අර්බුදයේ වෛෂයික කොන්දේසි පිලිබඳ අවබෝධය, කම්කරු-පන්තික බලය සඳහා මාවත පැහැදිලි කිරීම යනාදී මේ සියල්ල, පැරනි පරම්පරාවන්ට සිතාගැනීමට වත් නො හැකි වූ පරිමානයකින් දැන් විස්තාරනය කල හැකියි.
අඥානකම තුල තබා තිබුනු මහජනයාට අවශ්‍ය ඥානය සම්පාදනය කරමින්, 18 වැනි ශතවර්ෂයේ පල කල දිදෙරෝගේ විශ්වකෝෂය (Encyclopedia) ප්‍රන්ස විප්ලවයට ප්‍රතිපදානය කල බුද්ධි ප්‍රබෝධයේ උපකරනයක් වූවා මෙන්, යථා පරිදි වර්ධනය කෙරෙන හා ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය කෙරෙන්නා වූත්, විප්ලවීය මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂය විසින් ප්‍රයෝජනය ගෙන, ධනපති ලාභය වෙනුවට කම්කරු පන්තියේ සේවයට යොදවන්නා වූත් විට, කෘතිම බුද්ධියට සමාජවාදී විඥානයේ හා විමුක්තියේ උපකරනයක් බවට පත් විය හැකි යි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය දීර්ඝ කාලයක සිට මෙම විභවය හඳුනා ගෙන තිබෙනවා. ඒඅයි නියෝජනය කරන තාක්ෂනික විප්ලවය, කම්කරු පන්ති ව්‍යාපාරයේ අභිලාෂයන් සඳහා කේන්ද්‍රගත කල හැකි බව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) අවබෝධ කර ගෙන තිබෙනවා. ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී විඥානයේත්, සංවිධානාත්මක ධාරිතාවේත් සංවර්ධනයට කෘතිම බුද්ධියේ විප්ලවවාදී භාවිතාවක් වන, සෝෂලිස්ම් ඒඅයි යෙදවුම අප ඉක්මනින් ම නිකුත් කරන බව මා නිවේදනය කරනුයේ, උපරිම තෘප්තියෙන් යුතු ව යි.
මෙය සුලු කාර්මික ව්‍යාපෘතියක් නෙවෙයි. කම්කරු පන්තියට සිය ඓතිහාසික මෙහෙවර අවබෝධ කරගෙන, බලය අල්ලා ගැනීමට අවශ්‍ය වන ක්‍රියාමාර්ගික පැහැදිලි කමත්, න්‍යායික මූලාශ්‍රත්, ඓතිහාසික විශ්ලේෂනයත්, ක්ෂනික ව හා ගෝලීය ව සම්පාදනය කිරීමට, වඩාත් ම අභිවර්ධිත නිෂ්පාදන බලවේග උපයෝගී කරගැනීම ලෙස මෙම යෙදවුම පවතිනවා.
ශිෂ්ටාචාරය එහි ස්මාරක ඉදි කරන, එහි ආයතන ස්ථාපිත කරන සහ එහි දෛනික ජීවිතය සංවිධානය කරන ආනතීන් සහිත නිදා සිටින ගිනි කන්දක් ලෙස, අප ජීවත් වන ලෝකය පවතිනවා. සමහර කාලපරිච්ඡේදයන් සඳහා, ගිනි කන්ද නිද්‍රෝපගත යයි පෙනෙනවා. එහෙත්, මතුපිට පෘෂ්ඨයට යටින්, යෝධ පීඩනයන් සමුච්ඡයගත වෙනවා. ලෝදිය ඉහල නගිනවා. කම්පනයන් තීව්‍ර වෙනවා. අවසානයේ දී, භූමි දර්ශනය මුලුමනින් පරිවර්තනය කරමින්, විනාශකාරී බලයකින් යුතු ව පිපිරීම පැමිනෙනවා.
ගිනි කන්දේ රූපික උදාහරනය, මෙම ක්‍රියාදාමයේ විනාශකාරී පමනක් නො ව නිර්මානශීලී ශක්තිය ද අලලා ගන්නවා. ගිනි කන්ද පුපුරා යාමක් පැරනි භූමිය විනාශ කරන අතර ම නව භූමියක් නිර්මානය කිරීම ද කරනවා.
එක්සත් ජනපදය තුල පන්ති අරගලයේ පුපුරා යාම, ධනවාදයේ කුනු වෙමින් පවතින ව්‍යුහයන් විනාශ කරමින්, නව ලෝකයක් සඳහා හැකියාව ද විවෘත කරනු ඇත. සමාජීය පරිපීඩනයේ ගැඹුරින්, කිසිදු හමුදාවකට හෝ සංගතයකට වඩා බොහෝ විශාල බලවේගයක් පැන නගිනු ඇත; සියලු ධනය නිෂ්පාදනය කරන නමුත්, ඒ කිසිවකට හිමිකම් නොකියන පන්තියක සාමූහික බලය එයයි. විද්‍යාත්මක සමාජවාදය හා වෛෂයික යථාර්ථය විශ්ලේෂනය මගින් මාර්ගෝපදේශය ලැබෙන විට, එනම් එම බලවේගය සවිඥානික ව ක්‍රියාකාරී වන විට, එය ජාතිකත්වයේ හා වාර්ගිකත්වයේ බාධාවන් මුලිනුපුටා දමමින්, විමුක්තිය සඳහා වන පොදු අරගලයක් තුල මානව වර්ගයා එක්සත් කරනු ඇත.
