මිචෙලින් කම්කරුවන් නොමග යැවීමට, ව්‍යාජ-වාම පෙසප අලුතින් වෘත්තීය සමිතියක් ඇටවීමට වැඩට බසියි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) අනුබද්ධ වෘත්තීය සමිතියක් වන පෞද්ගලික සේවක මධ්‍යස්ථානය (පීඩබ්ලිව්සී), තම රැකියා සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා අරගලයක නියැලී සිටින මිචෙලින් සේවකයින් අතර අලුතින් වෘත්තීය සමිතියක් ඇටවීමට වැඩ පටන් ගෙන ඇත.

මිචෙලින් සේවකයින්ට තම සංවිධානයට බැඳීමට අයදුම්පත් ද පවතින අන්තර් සමාගම් සේවක සංගමයට (අසසේසං) යැවීම සඳහා ඉල්ලා අස්වීමේ ලිපියක ආකෘතියක් ද පීඩබ්ලිව්සී විසින් නිකුත් කර ඇත. අසසේසං පාලක ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන වෘත්තීය සමිතියකි.

එෆ්එස්පී සහ එහි වෘත්තීය සමිති කන්ඩායම් විසින් ගෙන ඇති මෙම අවස්ථාවාදී ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) මිචෙලින් සේවකයින්ගෙන් ඉල්ලා සිටී. වත්මන් අසසේසං ශාඛාවෙන් ඉල්ලා අස්වී ඔවුන්ගේ වෘත්තීය සමිතියට බැඳෙන ලෙස ඉල්ලා සිටිය ද මෙම සේවකයින් ඔවුන්ගේ සංවිධානයට බැඳිය යුත්තේ මන්දැයි පීඩබ්ලිව්සී කිසිවක් කියා නොමැත.

තවත් වෘත්තීය සමිති උගුලකට හසු නොවන ලෙස මිචෙලින් සේවකයින්ගෙන් අපි ඉල්ලා සිටිමු. පවතින වෘත්තීය සමිතියක් වෙනුවට, තවත් වෘත්තීය සමිතියක් පිහිටු වීමෙන් ඔබ මුහුන දෙන ප්‍රධාන ගැටලු කිසිවක් විසඳෙන්නේ නැත. ඔබට ඊනියා කෙටි මාවත් නැත. මෙය, මිචෙලින් හි මෙන්ම අනෙකුත් පෞද්ගලික හෝ රාජ්‍ය ආයතනවල සේවකයින්ට අදාල සත්‍යයකි. 

පීඩබ්ලිව්සී සමිතියක් ඇටවීමෙන් තම සමිතිය බිඳී යනු ඇතැයි බියපත් වී සිටින අසසේසං නායකයෝ අනෙකුන්ට නොරැවටෙන ලෙස දැන් තම සාමාජිකයන්ට පනිවිඩ පිට පනිවිඩ නිකුත් කරති. ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ අතකොලුවක් ලෙස ක්‍රියාකරන අසසේසං හා එ වැනි ම භුමිකාවක යෙදෙන පෙසප සමිතිවල ද භූමිකාව එකිනෙකට වෙනස් නැත.  

මැයි 23දා සිට මිචෙලින් සේවකයෝ තම රැකියා හා කොන්දේසි රැක ගැනීමේ දැඩි අරගලයක නියැලී සිටින අතර විරෝධතා රැස්වීම් සහ වාඩිලා ගැනීමේ වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගත්තෝ ය. මිචෙලින් අන්තර්ජාතික සංස්ථාව තම ශ්‍රී ලාංකික කර්මාන්තශාලා - මිදිගම සහ ජා-ඇල අනෙකුත් අංශ - ඉන්දියාවේ සියැට් නමැති බහුජාතික සමාගමට විකුනා දමා ඇත.

නව සේවායෝජකයාට සේවකයින් මාරු කර යැවීම සම්බන්ධයෙන් අසසේසසං නායකයන් මැයි 22දා මිචෙලින් සහ සියැට් සමඟ අවබෝධතා ගිවිසුමකට එලඹ ඇති බව සේවකයින්ට දැනගන්නට ලැබුනි.  සමාගම් දෙක සමග අසසේසසං නායකයන් ගිවිසුමක් අත්සන් කර තිබුනේ, තම සාමාජිකයන්ට කිසිවක් නොදන්වා හොරෙනි.  

ඔවුන්ගේ රැකියා සහ සේවා කොන්දේසි වල අනාගතය පිලිබඳ ව අවිනිශ්චිත වූ කම්කරුවෝ තමන්ගේම ඉල්ලීම් සකස් කර ඒවා ඉදිරියට ගෙන යාම සඳහා විවිධ කාර්මික ක්‍රියාමාර්ග ගත්හ. මෙම ක්‍රියාමාර්ග අතරතුර, මිචෙලින් කලමනාකාරිත්වය එක් සේවකයෙකුගේ වැඩ තහනම් කල අතර තවත් දෙදෙනෙකු සේවයෙන් පහ කලේය.

අසසේසං සහ එහි ශාඛා නායකයින් කම්කරුවන්ගේ ඉල්ලීම් නොසලකා හරිමින් මිචෙලින් සහ සියැට් සමඟ සම්පූර්නයෙන්ම පෙල ගැසුනි. රජයේ කම්කරු නිලධාරීහු සමාගමට සහ වෘත්තීය සමිති නායකයින්ට සහාය දක්වමින් ක්‍රියාවලියට එකඟ වූහ.

සසප සහ එහි කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය රැකියා ආරක්ෂා කිරීම සඳහා වූ මිචෙලින් අරගලයට සහාය දෙමින් ඔවුන්ගේ සටන ඉදිරියට ගෙන යාම සඳහා වැඩසටහනක් ඉදිරිපත් කලේය. අපගේ මැදිහත්වීමට සැලකිය යුතු සහයෝගයක් ලැබුනි.

පෙසප සහ එහි වෘත්තීය සමිති කන්ඩායම් සතියකට වැඩි කාලයක් මිචෙලින් අරගලය ගැන කට පියාගෙන සිටියේ ය. ඉන්පසුව, ජුනි 2දා, පෙසප සාමාජික සහ පීඩබ්ලිව්සී ලේකම් දේවින්ද කෝදාගොඩ පින්වතෙකු මෙන් ෆේස්බුක් සටහනක පෙනී සිටිමින්, ඔහුගෙන් “මිචෙලින් සේවකයින්ට කුඩා පනිවිඩයක්” ඇති බව ප්‍රකාශ කලේය.

ඔහුගේ පනිවිඩය මෙසේය: “අපි සාමාජිකයින්ට වගකියන වෘත්තීය සමිති සංස්කෘතියක් ගොඩනඟා ගත යුතුයි” [අවධාරනය අපගේ]. කොටින් කියන්නේ නම්, අපගේ  නායකත්වය යටතේ වෘත්තීය සමිතියක් ගොඩනඟන්න - එවිට සියල්ල හොඳින් සිදුවනු ඇත.

පෙසප සාමාජික සහ පීඩබ්ලිව්සී ලේකම් දේවින්ද කෝදාගොඩ

මෙය මිචෙලින් කම්කරුවන් සහ කම්කරු පන්තිය ඔවුන් මුහුන දෙන තීරනාත්මක ගැටලු විසඳා ගැනීමේ අරගලයෙන් පීලි පැන්වීමට ගන්නා නරුම උත්සාහයකි.

මිචෙලින් සේවකයින් තම රැකියා සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීමට කල යුතු දේ හෝ, ඔවුන් මුහුන දෙන ගැටලු විසඳා ගන්නේ කෙසේද යන්න පිලිබඳ ව කෝදාගොඩ සහ පෙසප වචනයක්වත් කතා කලේ නැත. ඔවුන්ට ඒවා අදාල නැත. 

මක් නිසා ද? අසසේසං හි ප්‍රජාතන්ත්‍ර විරෝධී අවබෝධතා ගිවිසුමට විරුද්ධ වූ සහ ඔවුන්ගේ වෘත්තීය සමිති නායකයින්ගේ ඔලුවලට උඩින්, මිචෙලින් කම්කරුවන් ස්වයංසිද්ධ ව විරෝධතා ආරම්භ කිරීම ගැන අසසේසං නායකයන් මෙන්ම පෙසප ද තැතිගෙන සිටින බැවිනි. වෘත්තීය සමිති නායකයින් සම්බන්ධයෙන් ගත් කල, කම්කරුවන්ගේ එවැනි ස්වාධීන මූලිකත්වය ගැනීමක් ඔවුන්ගේ ආධිපත්‍යයට බරපතල තර්ජනයක් වනු ඇත. ඊට ඇබ ගසා කම්කරුවන් හික්මවා ඔවුන් අවමංගත කල යුතු ය, පෙසප සිය සමිති මෙහෙයවා ඇත්තේ ඒ සඳහා ය.   

වැදගත් ම කරුනක් නම්, තම අයිතිවාසිකම් සඳහා සටන් කිරීමට සසප ඉදිරිපත් කරන කම්කරුවන් ස්වාධීන ව බලමුලු ගැන්වීමේ වැඩපිලවෙලට, පෙසප සහ ඊට අනුබද්ධ වෘත්තීය සමිති නායකයින් සම්පූර්නයෙන් ම සතුරු ය.

මෙම අරගලයේ කොටසක් ලෙස, නිලධරයන් විසින් වෘත්තීය සමිති, සමාගම් සහ රජය වෙනුවෙන් ක්‍රියාකරන කාර්මික පොලිසියක් බවට පරිවර්තනය කර ඇති තතු තුල, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ලෙස ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස සසප යෝජනා කරයි.

ක්‍රියාකාරී කමිටු කම්කරුවන්ගේ ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයින්ගෙන් සමන්විත විය යුතු ය. මෙම කමිටු තම සාමාජිකයින් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව සාකච්ඡා කර ක්‍රියා කල යුතු ය. එවැනි කමිටුවලට ජාතික හා ජාත්‍යන්තර ව තම සහෝදර කම්කරුවන් වෙතට ලඟා වී ඔවුන්ගේ පදනම් ශක්තිමත් කරගත හැකිය. හාම්පුතුන්ගේ ඒජන්තයන් වන වෘත්තීය සමිති නිලධාරීන්ට මෙම කමිටුවලට ඇතුලු වීමට ඉඩ නොදිය යුතු ය.

යෝධ මිචෙලින් සංගතය ප්‍රතිව්‍යුහගත කිරීම පිටුපස ඇති හේතු පැහැදිලි කරමින් සසප මිචෙලින් විරෝධතාකරුවන් සමඟ මෙම වැඩසටහන සාකච්ඡා කරමින් සිටී.

ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ ලාභ වැඩි කරගැනීම සඳහා කෘතීම බුද්ධිය වැනි නව ත ම තාක්ෂනික දියුනුව භාවිතා කරමින් ගෝලීය සංගත, කෘතීම බුද්ධිය වැනි නව ත ම තාක්ෂනික දියුනුව භාවිතා කරමින් ප්‍රතිව්‍යුහගත කරන ආකාරය මිදිගම මිචෙලින් අරගලයේ දී ඉස්මත්තට පැමින තිබේ. ඒ අනුව, රැකියා කප්පාදුව, ශ්‍රම බලකාය අඩු කිරීම්, සූරාකෑම තීව්‍ර කිරීම සහ වැටුප් හා කොන්දේසි කප්පාදුව සංගතවල දවසේ වැඩපිලිවෙල බවට පත් ව ඇත.

ශ්‍රී ලංකාවේ, මෙම ක්‍රියාවලිය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කුරිරු කප්පාදු න්‍යාය පත්‍රයක් යටතේ රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීමේ වැඩපිලිවෙලක් සහ ජීවන සහ සමාජ තත්වයන් කප්පාදු කිරීම සමග ඒකාබද්ධවී තිබේ. මෙම ප්‍රහාරවලට එරෙහි ව සටන් කිරීමට කම්කරු පන්තියට වැඩපිලිවෙලක් අවශ්‍ය වේ.

සසප සටන් කරන්නේ මිදිගම සේවකයින්ට මෙම අවබෝධය ගෙන ඒමට සහ ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා ඔවුන් බලමුලු ගැන්වීමට ය.

කෝදාගොඩගේ ඊනියා පනිවිඩයේ මිදිගම සේවකයින් මුහුන දෙන තීරනාත්මක ගැටලු පිලිබඳව එක වචනයක්වත් නැත. පෙසප සහ එහි වෘත්තීය සමිති සංවිධානවල ෆේස්බුක් පිටුවල කම්කරුවන්ගේ අරගලය ගැන වාර්තාවක්වත් නොතිබුනි.

තම සාමාජිකයන් මත අසසේසං නිලධරයේ ග්‍රහනය නැති වන විට, පෙසප සහ එහි නැට්ටක් ලෙස ක්‍රියාකරන පීඩබ්ලිව්සී තැත් කරන්නේ පාලනය තමන් අතට ගැනීමටයි. ඔවුන්ගේ වෘත්තීය සමිති භූමිකාව අයිසීඊයූ හි භූමිකාවට වඩා කිසිසේත්ම වෙනස් නොවනු ඇත. 'සාමාජිකයින්ට වගකිව යුතු වෘත්තීය සමිති සංස්කෘතියක් ගොඩනැගීම' යන පෙසප සූත්‍රය පට්ට ප්‍රයෝගයකි.

පන්ති අරගල මධ්‍යස්ථානය,පීඩබ්ලිව්සී සහ එක්සත් ගුරු සේවා සංගමයේ නායකයින්ට, ජවිපෙ සහ විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) විසින් පාලනය කරනු ලබන ඒවා ද ඇතුලු අනෙකුත් වෘත්තීය සමිති මෙහෙයවන ඔවුන්ගේ නිලධාරි මස්සිනාලාට සමාන වූ පාවාදීම් පිලිබඳ වාර්තාවක් ඇත.

ඔවුන් සතුව හොඳ වෘත්තීය සමිති පිලිවෙත් ඇති බවට කරන ප්‍රකාශ අමූලික බොරු ය. 2022 මහජන නැගිටීම මධ්‍යයේ, අප්‍රේල් 28 සහ මැයි 6 මහා වැඩවර්ජන පීලි පැන්වීමට පෙසපයේ පන්ති අරගල මධ්‍යස්ථානයේ නායකයින් අනෙකුත් සියලු ම වෘත්තීය සමිති නායකයින් සමඟ එක් ව රුදුරු ත ම පාවා දීමක යෙදුනි. අන්තර්කාලීන ධනේශ්වර ආන්ඩුවක් පිහිටුවන ලෙස සඳහා ජවිපෙ සහ සජබ ගෙන ගිය ව්‍යාපාරයට සහාය දෙන ලෙස ඔවුහු සියලු දෙනා ම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියහ. මෙම පාවා දීම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගිය පසු රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒමෙන්, ධනේශ්වර පාලනය තාවකාලික ව නැවත ස්ථාවර කිරීමට මග පෑදී ය.

දුමින්ද නාගමුව (වමේ) ඇමති දිනේශ් ගුනවර්ධන (දකුනේ කෙලවර) (කෝවිඩ් වසංගත සමයේ දී )

පෙසප වෘත්තීය සමිති නායකයින්, ඔවුන්ගේ සගයන් මෙන්, ආන්ඩුවට හා හාම්පුතුන්ට  බලපෑම් කිරීමෙන් ප්‍රතිසංස්කරන කඩාගැනීමට හැකි බවට  මාරාන්තික මිත්‍යාවක් තුල කම්කරුවන් කොටු කිරීමට උත්සාහ කරති. කම්කරුවන් මෙසේ දේශපාලනික ව අවමංගත කිරීම, වික්‍රමසිංහ තන්ත්‍රයට හා දැන්, අනුර කුමාර දිසානායක ජනාධිපතිට ජාමූඅ හි කුරිරු කප්පාදු වැඩසටහන දිගට ම කරගෙන යාමට හැකියාව ලබා දී තිබේ.

ධනපති ආර්ථිකය 'පුනර්ජීවනය' කිරීම සඳහා ජාමුඅ වැඩසටහන ක්‍රියාත්මක කල යුතු යයි පාලක ප්‍රභූව කරන අවධාරනය පිලිගනිමින්, වෘත්තීය සමිති නිලධරයන්,  ක්‍රියාකරන ආකාරය කම්කරුවන්ට දැක ගත හැකි ය. 

පසු ගිය අඩ සියවස තුල පෙර නොවූ විරූ සහ නිරන්තරයෙන් ගැඹුරු වන නිෂ්පාදනයේ ගෝලීයකරනය යටතේ, භාන්ඩ නිෂ්පාදනය කිරීම අන්තර්ජාතික සංගත විසින් ආධිපත්‍යය දරන ජාත්‍යන්තර ක්‍රියාවලියක් බවට පත් ව ඇත. ජාතික වශයෙන් පදනම් වූ වෘත්තීය සමිති මෙම අන්තර්ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට අභියෝග කිරීමට අසමත් ය.

මෙම වෘත්තීය සමිති රාජ්‍යයට හා මූල්‍ය ප්‍රාග්ධනයේ ව්‍යුහයන්ට ඒකාබද්ධ වූ නිලධාරිවාදීන් විසින් පාලනය කරනු ලබයි; ඔවුහු ඒවායේ අවශ්‍යතා  සඳහා සේවය කරති. ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව කම්කරුවන් දකින්නේ මෙයයි. මිචෙලින් හිදී, වෘත්තීය සමිති නායකයින් සමාගමේ හොරනෑ බවට පත්ව ඇත.

පෙසප සහ කම්කරු අරගල මධ්‍යස්ථානය සහ පීඩබ්ලිව්සී ඇතුලු එහි විවිධ සංවිධානවල කාර්යය වන්නේ ධනේශ්වර ක්‍රමය සහ ජාතික රාමුව තුල කම්කරුවන් කොටු කිරීමයි.

මෙම ව්‍යාජ-වාම කන්ඩායම් සහ ඔවුන්ගේ ධනේශ්වර ගැති ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන ලෙස කම්කරුවන්ගෙන් අපි ඉල්ලමු. ඔවුන් යොමු විය යුත්තේ, සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ  අරගලය සඳහා    ස්වාධීනව බලමුලු ගැන්වීමටයි.

Loading