ඉදිරිදර්ශන

ඇමරිකා එක්සත් ජනපදයේ ආඥාදායකත්වයට එරෙහි මහජන විරෝධතා සහ ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනයට එරෙහි සටනේ ඉදිරි මාවත

[මෙය The mass protests against dictatorship in the US and the way forward in the fight against Trump’s coup යන මැයෙන් 2025 ජූනි 16 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

නිරිතදිග ඩෙට්‍රොයිට් හි "රජවරු එපා" පෙලපාලියට සහභාගී වූවෝ

2025 ජූනි 14 වන දිනය, එක්සත් ජනපදයේ දේශපාලන අර්බුදයේ වර්ධනයේ කේන්ද්‍රීය ලක්ෂ්‍යයකි; එය 1861-1865 සිවිල් යුද්ධයෙන් පසු ඇති වූ සුවිශේෂී ම අවස්ථාවයි. ට්‍රම්ප් පරිපාලනයේ දක්ෂිනාංශික ප්‍රතිපත්ති සහ ඒකාධිපති ක්‍රමවේදයන්ට එරෙහි ව ස්ථාන 2,000 කට වැඩි ගනනක සහ ප්‍රාන්ත 50 න් සෑම එකක ම මිලියන ගනනක් විරෝධතා දැක් වූ අතර, එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙම මහජන විරෝධයේ ගලා ඒමට එරෙහි ව බලය පෙන්වීමක් ලෙස එක්සත් ජනපද අගනුවරට යුද ටැංකි සහ දහස් ගනනක් හමුදා භටයින් ගෙන ආවේ ය.

ට්‍රම්ප්ට එරෙහි විරෝධතාවල ප්‍රමානය හා පරිමානය අනුව, ඒවා ඇමරිකානු ඉතිහාසයේ විශාලතම එක් දින විරෝධතා නොවේ නම්, විශාලතම ඒවා අතරට එක් වන බවට ශ්‍රේනිගත කර ඇත. මුලු සහභාගීත්වයේ ඇස්තමේන්තුව මිලියන 5 සිට 11 දක්වා පරාසයක පවතී. ඉහල අගය එක්සත් ජනපදයේ සමස්ත වැඩිහිටි ජනගහනයෙන් ආසන්න වශයෙන් සියයට 4 ක් නියෝජනය කරයි.

විරෝධතාවල ප්‍රමානය වඩාත් වැදගත් වන්නේ, ඒවා ඇමරිකානු දේශපාලනයේ කිසිදු නිල ආයතනයක් විසින් අනුමත කර හෝ ප්‍රවර්ධනය කර නොතිබීමත්, වෘත්තීය සමිති යාන්ත්‍රනය විසින් බොහෝ දුරට නොසලකා හැර හෝ වර්ජනය කර තිබීමත් නිසාය.

නිව්යෝර්ක් නගරය, චිකාගෝ, ලොස් ඇන්ජලීස් සහ අනෙකුත් ප්‍රධාන නාගරික ප්‍රදේශවල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පෙලපාලි ගියහ. තුන්වන ජෝර්ජ් රජුට එරෙහි ව ඇමරිකානු විප්ලවය ඇති කල නගරය වන බොස්ටන් හි දැවැන්ත “රජවරු එපා” පාගමන විශාල සමලිංගික අබිමන් සැමරුමක් සමඟ ඒකාබද්ධ වූ බැවින් එයට මිලියන 1 ක් පමන සහභාගී වූහ. විසාල වසයෙන් ට්‍රම්ප්ට ඡන්දය දුන් නමුත් දැන් ඔහුට එරෙහි ව දහස් ගනනක් වීදි බැස සිටි කුඩා නගර සහ නගරවල ද සැලකිය යුතු විරෝධතා ඇති විය.

විරෝධතාවල 'රජවරු එපා' යන තේමාව සහභාගී වූවන් අතර පුලුල් ලෙස රැව් පිලිරැව් දුනි; ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඇමරිකානු විප්ලවය ගැන සඳහන් කරන, තමන් විසින් ම සාදා ගන්නා ලද පුවරු රැගෙන ගිය අතර ට්‍රම්ප් සිංහාසනයේ වාඩි වී අර්ධ-රාජාන්ඩු ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට දරන උත්සාහය හෙලා දුටහ.

සංගත පක්ෂ දෙකට ම එරෙහි ව පුලුල් සතුරු මනෝභාවයක් පැවතුනි—ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පක්ෂය සංක්‍රමනිකයින්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කල කුරිරු ප්‍රහාර සම්බන්ධයෙන් වෛරයට පාත්‍ර වූ අතර, කිසිදු බරපතල විරෝධයක් එල්ල කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයට ඔවුන්ගේ උද්‍යෝගිමත් සහයෝගය හේතුවෙන් ඩිමොක්‍රටික් පක්ෂය හෙලා දකිනු ලැබුනි.

විරෝධතාවල ප්‍රමානය, ඩිමොක්‍රටික් පක්ෂය සහ දේශපාලන සංස්ථාපිතය තුල දැඩි නොසන්සුන්තාවයකට හේතු විය. එය මාධ්‍ය තුල මුලුමනින් පාහේ ස්වයං වාරනයකට ලක් විය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මුද්‍රිත සංස්කරනයේ මුල් පිටුවේ විරෝධතා ගැන මූලික ලිපියක් ප්‍රකාශයට පත් කල ද, විරෝධතා සිදුවී පැය 24 කටත් අඩු කාලයක් තුල එහි වෙබ් අඩවියේ මුල් පිටුවේ විරෝධතා පිලිබඳ සියලු සඳහන් ඉවත් කර තිබුනි; සමස්තයක් ලෙස සියලු මාධ්‍ය සඳහා ම තානය වූයේ එය යි.

ඊනියා “වාමාංශය” ඇතුලු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රමුඛ පාක්ෂිකයෝ විරෝධතාවලට සහභාගී නොවූහ. හැකි තරම් අඩු පැමිනීමක් ඇති ස්ථානයක් තෝරා ගත් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් වර්මොන්ට් හි ස්ටෝව් හි 500 දෙනෙකුගෙන් සමන්විත රැලියක් ඇමතී ය. ඩිමොක්‍රටික් සෝෂලිස්ට්ස් ඔෆ් ඇමරිකා සාමාජිකාවක වන කොංග්‍රස් නියෝජිත ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් සෙනසුරාදා (14) දිනය ගත කලේ, ජුනි 24 වන දින නිව්යෝර්ක් නගරාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රාථමික මැතිවරනයට ඉදිරිපත් වන සගයෙකු වන ඩීඑස්ඒ සාමාජික සොහ්රාන් මම්දානි සඳහා අරමුදල් රැස් කිරීමේ ඉසවුවක ය.

මහජන විරෝධතා හමුවේ, වොෂින්ටන් ඩී.සී. හි එදින ම පැවති ට්‍රම්ප්ගේ හමුදා පෙලපාලිය අවාසනාවන්ත ලෙස අසාර්ථක විය. සොල්දාදුවන් 6,000 ක්, යුද ටැංකි සිය ගනනක්, සන්නද්ධ වාහන සහ හෙලිකොප්ටර් බලමුලු ගැන්වීම මෙන්ම ආයුධ කර්මාන්තයෙන් සහ ආයතනික දැවැන්තයින්ගෙන් ලැබුනු අති දැවැන්ත අරමුදල් තිබියදීත්, මෙම සිදුවීම ඇමරිකානු ජනතාව බිය ගැන්වීමට අසමත් විය.

සහභාගීත්වය 20,000 ට අඩු යැයි ඇස්තමේන්තු කල හැකි කුඩා පිරිස සහ උද්‍යෝගයේ පැහැදිලි ඌනතාවය, ට්‍රම්ප්ගේ හුදකලාව සහ ජනගහනයේ අතිමහත් බහුතරය තුල ඔහු කෙරෙහි පවතින පුලුල්ව පැතිරුනු පිලිකුල අවධාරනය කලේ ය.

ට්‍රම්ප් ධවල මන්දිරය අසල පිහිටි නිරීක්ෂන කුටියේ සිට පිරිස ඇමතීය. මෙය පිහිටා තිබෙන්නේ, 2021 ජනවාරි 6 වන දින ට්‍රම්ප් තම ෆැසිස්ට් මැරයන් කැපිටල් ගොඩනැගිල්ල වෙත කඩා වැදීම සඳහා යැවීමට පෙර රැස් කල ස්ථානයට යන්තම් යාර සිය ගනනක් දුරිනි. රැස් ව සිටි පිරිස කෙතරම් සුලු ද යත්, එය ජනමාධ්‍ය වාර්තා තුල ඇති කල හැකි අහිතකර බලපෑම ගැන දැන සිටි එක්සත් ජනපද ජනාධිපතිවරයා විනාඩි අටක් පමනක් කතා කර වාඩි විය.

ෆැසිස්ට් ජනාධිපතිවරයාට ඇති සැබෑ සහයෝගයේ පදනම සෙනසුරාදා ප්‍රකාශ වූයේ, අන්ත දක්ෂිනාංශික කොටස් විසින් එල්ල කරන ලද ප්‍රචන්ඩ ප්‍රහාර මාලාවකිනි. මිනසෝටා හි ගබ්සා-විරෝධී උන්මත්තකයෙකු, ප්‍රාන්ත නීති සම්පාදකවරියක සහ ඇගේ සැමියා ඝාතනය කල අතර තවත් නීති සම්පාදකයෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තැබී ය. වර්ජිනියාවේ කල්පෙපර් හි රියදුරෙක් තම මෝටර් රථය විරෝධතාකරුවන් පිරිසක් වෙතට ධාවනය කලේ ය—එය 2017 චාලට්ස්විල් හි නව-නාසි ප්‍රහාරය පිලිබඳ මතකය සිහි කැඳවන්නකි.

ලොස් ඇන්ජලීස් හි, අයිසීඊ වැටලීම් මහජන කෝපයට හේතු වූ අතර, ට්‍රම්ප් විසින් යොදවා ඇති ජාතික ආරක්ෂක සහ නාවික ඒකකවලින් “රජවරු එපා” පෙලපාලි වට කරන ලදී. නමුත් සවස් වන විට, ඩිමොක්‍රටික් නගරාධිපති කැරන් බාස්ගේ අධිකාරිය යටතේ පොලිසිය ෆෙඩරල් ගොඩනැගිල්ලෙන් පිටත විරෝධතාකරුවන්ට ස්ටන් ග්‍රෙනේඩ්, රබර් උන්ඩ සහ කඳුලු ගෑස් යොදා පහර දුනි; අවම වශයෙන් හය දෙනෙකු තුවාල ලැබූ අතර දුසිම් ගනනක් අත්අඩංගුවට ගනු ලැබූහ.

විරෝධතාවන්ට ට්‍රම්ප්ගෙන් ලැබුනු ක්ෂනික ප්‍රතිචාරය වූයේ, “ඉතිහාසය තුල, නීතිවිරෝධී විදේශිකයින් සමූහ වශයෙන් පිටුවහල් කිරීමේ විශාලත ම මෙහෙයුම” ක්‍රියාත්මක කරන ලෙස අයිසීඊ වෙත නියෝග කරමින් ටෲත් සෝෂල් සමාජ මාධ්‍යයෙහි ෆැසිස්ට්වාදී ප්‍රකාශයක් පල කිරීමයි. අයිසීඊ සහ ෆෙඩරල් ආයතනවලට, “අපරාධවලින් පිරුනු සහ මාරාන්තික අභ්‍යන්තර නගර” කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඔහු එහි දී ඉල්ලා සිටි අතර, 'බාරදුන්න වැඩේ කරපල්ලා!' යන විවෘත ඉල්ලීම සමඟ එම පෝස්ටුව අවසන් විය. මෙම ප්‍රකාශය සංක්‍රමනිකයින්ට සහ කම්කරු පන්තියට එරෙහි ව යුද්ධ ප්‍රකාශ කිරීමක් වන අතර ට්‍රම්ප්ගේ ඒකාධිපතිත්වය කරා යන ධාවනය බලාත්මක කිරීම සඳහා රාජ්‍යයේ මර්දනකාරී මෙවලමට ඍජු ආයාචනයකි.

ජුනි 14 වන දින මිලියන සංඛ්‍යාත ජනතාවක් වැදගත් දේශපාලන අත්දැකීම් ලබා ගත්හ. ට්‍රම්ප් යනු සර්වබලධාරී, පුලුල් ලෙස ජනප්‍රිය සහ පරාජය කරනු තබා විරුද්ධ වීමටවත් නොහැකි අයෙකු බවට ඩිමොක්‍රටික් පක්ෂය, සංගත මාධ්‍ය සහ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ප්‍රකාශයන්ට, මෙම විරෝධතා වෛෂයික පිලිතුරක් විය. මාධ්‍ය විරෝධතා රැලි පිලිබඳ මොනයම් හෝ වාර්තා කිරීමක් හෝ විශ්ලේෂනයක් සැනෙකින් අතහැර දමා ඇති අතර, වැඩ කරන ජනතාව සහ තරුනයින් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවංක ව ම කැප වී සිටින සියලු දෙනා මෙම දිනයේ පාඩම් ගැන මෙනෙහි කල යුතු ය.

මෙම විරෝධතා ට්‍රම්ප් පරිපාලනය පමනක් නොව, රිපබ්ලිකන් පක්ෂය සේම පාලක කතිපයාධිකාරයේ කොටසක් වන ඩිමොක්‍රටික් පක්ෂය තුල එහි නාමික විපක්ෂය ද කම්පනයට පත් කලේය. ඩීඑස්ඒ මෙන් ම, ඩිමොක්‍රටික් පක්ෂය සහ ව්‍යාජ වමේ ඔවුන්ගේ දේශපාලන ක්ෂමාලාපකයින්, ට්‍රම්ප්ගේ ෆැසිස්ට් ප්‍රහාරවලට වඩා කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් පුපුරා යාම ගැන බොහෝ සෙයින් බිය වන බැවින්, අශුභවාදය සහ අධෛර්යමත්භාවය පතුරුවා හැරියේ ය.

පෙලපාලි ගිය මිලියන සංඛ්‍යාත ජනතාව, අනන්‍යතා දේශපාලනය සහ කම්කරු පන්තිය බෙදීම සඳහා ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික නැමියාව භාවිතා කිරීමේ සටන් පාඨ වැලඳ ගත්තේ නැත. ඔවුහු කම්කරු පන්තියේ වඩාත්ම පීඩිත කොටස් අතර සිටින සංක්‍රමනිකයින්ගේ ආරක්ෂාව ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පුලුල් ඉල්ලීම් ඉදිරිපත් කලහ.

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය එක් දිනක සිදුවීමක් නොව ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ දිග්ගැස්සුනු පරිහානියේ කූඨප්‍රාප්තියයි. වෝටර්ගේට් සෝලිය හේතුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට සහ විධායක බලය පිලිබඳ ව්‍යවස්ථාමය පරීක්ෂාවන්ට එරෙහි තම කුමන්ත්‍රනය හෙලිදරව් වූ විට ජනාධිපති රිචඩ් නික්සන් ධුරයෙන් පහ කිරීමට බල කෙරුනු දා සිට අඩ සියවසක් ගත වී ඇත. එසේ වුවද, නික්සන් ඉල්ලා අස්වූයේ දෝෂාභියෝග තර්ජනයක් යටතේ පමනි.

නික්සන් බලයෙන් පහ කිරීම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වර්ධනයේ හැරවුම් ලක්ෂ්‍යයක දි සිදු වූවකි. 1971 අගෝස්තු මාසයේදී ඩොලර්-රන් පරිවර්ත්‍යතාවයේ බිඳවැටීමෙන් සංඥා වූ පරිදි, එක්සත් ජනපදයට ලෝක ආර්ථිකයේ ප්‍රමුඛ ස්ථානය අහිමි වෙමින් පැවති අතර, දකුනු වියට්නාමයේ රූකඩ පාලනයේ නින්දිත වැටීමෙන් එහි නරක ම මිලිටරි පරාජය සිදුවිය.

වසර පනහකට පසු, ඇමරිකානු ධනවාදයේ පරිහානිය සහ එහි ලෝක තත්වය ඛාදනය වීම ආපසු හැරවිය නොහැකිය. රුසියාව, ඉරානය, චීනය හෝ යුරෝපයේ සහ ආසියාවේ සිටි එක්සත් ජනපද සහචරයින්ට එරෙහි ව එල්ල කරන ලද අධිරාජ්‍යවාදී යුද්ධය හැර වෙනත් මගක් එක්සත් ජනපද පාලක ප්‍රභූවට නොපෙනේ. ට්‍රම්ප් සිය තීරුබදු යුද්ධය දියත් කිරීමේදී පෙන්නුම් කල පරිදි, ලෝකයේ සෑම රටක්ම ඇමරිකානු ආක්‍රමනයේ ඉලක්කයකි.

එවැනි ප්‍රතිපත්ති ප්‍රජාතන්ත්‍රවාදී ව ක්‍රියාත්මක කල නොහැකි ය. ඇමරිකානු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් යුද්ධයට විරුද්ධ වන අතර ට්‍රම්ප් කොපමන පෙලපාලි ගියත් ඔවුන් ඒ සඳහා කැපකිරීම් නොකරනු ඇත. තව ද, ධනවාදයේ අර්බුදය සඳහා කම්කරු පන්තියට ගෙවීමට සැලැස්වීම අරමුනු කරගත්, ධනේශ්වර පක්ෂ දෙකෙහි ම සහ සමස්තයක් ලෙස පාලක පන්තියේ සහාය ඇති ව ක්‍රියාත්මක කරන කප්පාදු පියවරයන්ට එරෙහි ව ඔවුන් සටන් කරනු ඇත.

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනයේ පරිමානය අඩ සියවසකට පෙර නික්සන් උත්සාහ කල ප්‍රමානයට වඩා බොහෝ සෙයින් වැඩි මුත්, කිසිදු ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු ඔහු ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා නැත. එම ඉල්ලීම පැන නගින්නේ, නොවැලැක්විය හැකි ලෙස මෙම පරිපාලනයේ ෆැසිස්ට් ප්‍රතිපත්තිවලට ඇති මහජන ප්‍රතිරෝධයෙනි. ට්‍රම්ප්-වැන්ස් ආන්ඩුව බලහත්කාරයෙන් ඉවත් කිරීම සඳහා මහා වැඩ වර්ජනයක් සඳහා වන ඉල්ලීම ඉදිරියට ගෙන යමින්, සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් ව එය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට කම්කරු පන්තිය මෙම මහජන ව්‍යාපාරයේ නායකත්වය ගත යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය, “ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය සහ එය නවත්වන්නේ කෙසේද” යන මැයෙන් රැස්වීමක් පැවැත්වූ අතර, එය ඒකාධිපතිත්වය කරා යන ගමනට විරුද්ධ වීමේ ඉදිරිදර්ශනයක් විස්තාරනය කලේ ය. පෙර දින මහජන බලමුලු ගැන්වීමේ පාඩම් සාරාංශගත කරමින් සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ ප්‍රකාශ කලේ ය:

අප අත්විඳිමින් සිටින්නේ, නිෂ්පාදන බලවේගවල ගෝලීය පරිමාන වර්ධනය සමඟ නොගැලපෙන සමාජ ක්‍රමයක බිඳවැටීමයි. අපි විප්ලවවාදී කාල පරිච්ඡේදයක සිටිමු. නමුත් සමාජ විඥානය සමාජ පැවැත්ම පසුපස ගාටයි. කම්කරු පන්තියේ සමාජ විඥානය ඔවුන් මුහුන දෙන සමාජ යථාර්ථය සමඟ පෙලගැස්වීමට අපි සටන් කරමු.

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවල ඇඟවුම් සැහැල්ලු කිරීමට සහ ඒ මත සීනි තැවරීමට සංගත මාධ්‍ය දරන නොනවතින උත්සාහයන් සැලකිල්ලට ගනිමින්, නෝර්ත් මෙසේ අවසන් කලේ ය: “ෆැසිස්ට්වාදය සාමාන්‍යකරනය වෙමින් පවතී. අපගේ කර්තව්‍යය වන්නේ සමාජවාදය සඳහා අරගලය සාමාන්‍යකරනය කිරීමයි.”

Loading