මෙය, ඕස්ට්‍රේලියානු සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම් මැක්ස් බොඩි 2025 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියට The Australian election and plans for war against China යන මැයෙන් සිදු කල කතාවේ සිංහල පරිවර්තනයයි.
අපි මැයි දිනය සමරන්නේ සහෝදරවරුන් දැනටමත් විස්තර කර ඇති පරිදි ගෝලීය ධනවාදයේ දැවැන්ත බිඳවැටීමක් මැදයි. ඊයේ පැවති ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරනය උදෙසා සිදු කෙරුනු නිල මැතිවරන ව්‍යාපාරය, මෙම යථාර්ථය වැඩකරන ජනතාවගෙන් වසන් කිරීමට පාලක ප්‍රභූවේ සහ එහි දේශපාලන නියෝජිතයින්ගේ ජරා කුමන්ත්‍රනයක් ලෙස පැවතියා.
ධනේශ්වර පාලනයේ සාම්ප්‍රදායික පක්ෂ වන ලේබර් සහ ලිබරල් පක්ෂ, මැතිවරන උද්ඝෝෂනයට අවතීර්න වුනේ අර්බුදයක් තුලයි. මහජනතාව නිවැරදිව ඔවුන් දැක ගන්නේ බැංකුවල හා සංගතවල දූෂිත උපකරන ලෙසයි. ඔවුන්ගේ මැතිවරන ව්‍යාපාර සමන්විත වූයේ පට්ට ගැසූ බොරුවලින්, බදු හෝ ඉන්ධන සහන වශයෙන් සතියකට ඩොලර් කිහිපයක් කේවල් කිරීම ආදියෙන්. මේ දශක ගනනාවක දරුනුතම සමාජ අර්බුදයේ කොන්දේසි යටතේදීයි.
මැතිවරන ප්‍රයෝගයන්ගේ දෘෂ්ටිමය හරය වූයේ ඕස්ට්‍රේලියානු සුවිශේෂතාවාදයයි. ලේබර් අගමැති ඇන්තනි ඇල්බනීස්ගේ වචනවලට අනුව, ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධය මගින් නිරූපනය කරන ලද භූ-දේශපාලනික හා ආර්ථික කුනාටුවලට මුහුන දීමට ඕස්ට්‍රේලියාව 'අද්විතීය ලෙස ස්ථානගත ව සිටින' බවයි.
මේ තරම් බොරුවක් තවත් නෑ. අපගේ උද්ඝෝෂනයේ දී, සමාජවාදී සමානතා පක්ෂය පමනක් කියා සිටියේ, ඕස්ට්‍රේලියානු ධනවාදය 'ස්ථානගත ව ඇත්තේ' තදබල බැටකෑමකට බවයි. ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධයේ කේන්ද්‍රීය ඉලක්කය වන චීනය වෙත ඛනිජ අපනයනය කිරීම මත ඕස්ට්‍රේලියානු ධනේශ්වරය මුලුමනින්ම රඳා පවතිනවා. ආර්ථිකය දැනටමත් පසුබෑමක පවතින අතර, දෙවන ලෝක යුද්ධයෙන් පසු ජීවන තත්වයන්හි විශාලතම කඩා වැටීමෙන් කම්කරු පන්තිය පීඩාවට පත් ව සිටිනවා.
ඇල්බනීස් සහ ලිබරල් නායක පීටර් ඩටන්, ට්‍රම්ප් ගැන සඳහන් නොකර සිටීමට උපරිම උත්සහයක් ගත්තා. ට්‍රම්ප් යනු දේශපාලන වසවිසක්. මත විමසුම්වලට අනුව, ජනගහනයෙන් සියයට 70ක් දක්වා ට්‍රම්ප්ට සහ ඔහුගේ ආර්ථික යුද්ධයේ, මිලිටරිවාදයේ සහ ආඥාදායකත්වයේ වැඩපිලිවෙලට සතුරුයි. ඔවුන් කොපමන උත්සාහ කලත් ට්‍රම්ප් ගැන කතාව වලක්වා ගන්න බැරි වුනා. සමහර මාධ්‍ය ආයතන සඳහන් කලේ ඕස්ට්‍රේලියානු මැතිවරන ප්‍රචාරක ව්‍යාපාරයේ ඇල්බනීස්, ඩටන් සහ ට්‍රම්ප් යන චරිත තුනක් ඇත්ත වශයෙන්ම සිටින බවයි.
ප්‍රධාන පක්ෂ ධවල මන්දිරයේ සිටින මෙම ෆැසිස්ට් මැර නායකයා ගැන සඳහන් කලා නම්, ඒ ඔහු සමග වඩාත් හොඳින් වැඩ කල හැක්කේ තමන් බවට තහවුරු කිරීමටයි, විශේෂයෙන් ම බීජිනයට එරෙහි ගැටුමේ දී. ඒ ඕස්ට්‍රේලියානු ධනේශ්වරයේ ප්‍රමුඛ කොටස් තමන්ගේම කොල්ලකාරී අවශ්‍යතාවන්, විශේෂයෙන්ම දකුනු පැසිෆික් කලාපය තුල, චීනයට එරෙහි එක්සත් ජනපද යුද ධාවනයට සම්බන්ධ වීමෙන් වඩාත් හොඳින් තහවුරු කර ගත හැකි යැයි සිතන නිසායි.
චීනයට එරෙහි යුද්ධය සඳහා ඕස්ට්‍රේලියාව පෙරටුගාමී රාජ්‍යයක් බවට පරිවර්තනය සම්පූර්න කිරීම පසුගිය වසර තුන පුරා ඇල්බේනීස්ගේ ලේබර් ආන්ඩුවේ කේන්ද්‍රීය අවධානයක් යොමු වුනු කරුනක්. එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය සමග වන AUKUS ගිවිසුම යටතේ ඩොලර් බිලියන 368 න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන මිලදී ගැනීම, හමුදාවේ සෑම අංශයක් ම මිසයිල ප්‍රහාරක හැකියාවෙන් සන්නද්ධ කිරීම, සහ න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි බෝම්බ හෙලන යානා ඇතුලු එක්සත් ජනපද කඳවුරු විශාල වශයෙන් පුලුල් කිරීම ඊට ඇතුලත්.
මෙම උද්ඝෝෂනයේ දී ධනේශ්වර ගැති පක්ෂ සියල්ලම යුද වැද්දන් ලෙස එලි බැහැලා. හරිතයන් ඔවුන්ගේ සාමවාදී වෙස්මුහුන අතහැර දමා, චීනයට එරෙහිව එල්ල කල යුතු මිසයිල සහ ඩ්‍රෝන සඳහා තමන්ගේම වැඩපිලිවෙල ඉදිරිපත් කරනවා. ගාසා ජන සංහාරයට ලේබර් ආන්ඩුව හවුල් වූ බව පසුගිය වසරේ ඔවුන් නිවැරදිව මතු කලා. දැන්, ඔවුන්ගේ ජාතික නායකයින් එය නොකියන්නේ ඔවුන් ලේබර් පක්ෂය සමඟ සන්ධානයක් ඉල්ලා සිටින නිසායි. ඔවුන් ජන සංහාරය හෙලා දැක්කේ මහජන සහයෝගය දිනා ගැනීමටයි. දැන් ඔවුන්ට ජන සංහාරයට සම්බන්ධ ලේබර් ආන්ඩුවකට එක් වීමට අවශ්‍ය නිසා, මරා දැමුනු පලස්තීනුවන් කරදරයක් බවට පත් වෙලා.
ව්‍යාජ වාම සෝෂලිස්ට් ඇලයන්ස් හි නිල ආස්ථානය වන්නේ මිලිටරි වියදම් “අඩකින්” අඩු කිරීමයි. වෙනත් වචන වලින් කියනවා නම් මේ පැබ්ලෝවාදීන් යුධ යන්ත්‍රයට වසරකට ඩොලර් බිලියන 28ක් ගලා යාම ගැන සතුටු වෙනවා.
යුද සූදානම ඉල්ලා සිටින දේ බරපතලයි. ධනේශ්වර පුවත්පත්, මැතිවරනයෙන් පසු මිලිටරි වියදම් වසරකට බිලියන ගනනින් ඉහල දැමිය යුතු බවට සෑම දිනකම ජප කරනවා. දැවැන්ත සමාජ කප්පාදුවකින් සහ වැඩ වේගවත් කර කම්කරු පන්තිය සූරා කෑම උග්‍ර කිරීමෙන් මේ සඳහා මුදල් ලබා ගත යුතු බවට ඔවුන් පවසනවා.
මේ ක්‍රියාමාර්ගය කම්කරු පන්තියේ දැවැන්ත අරගල පැනනංවනු ඇති. ලේබර් ආන්ඩුව දැනටමත් පලස්තීනයට සහය පල කරන විරෝධතා සහ කම්කරුවන්ගේ වැඩ වර්ජන සියල්ලම සාපරාධීකරනයට උත්සාහ කරනවා. මැතිවරන බලධාරීන් සසප නිල ලියාපදිංචිය අවලංගු කලේ, අප සාමාජික සංඛ්‍යාව පිලිබඳ දැඩි රෙගුලාසි සපුරා තිබියදීමයි. ඒ කියන්නේ අපේ පක්ෂයේ නම ඡන්ද පත්‍රිකාවේ නැහැ.
නමුත් අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම වලක්වන්න අපි ඉඩ තැබුවේ නැහැ. කම්කරුවන්ට හා තරුනයන්ට සැබෑ විකල්පයක් අවශ්‍ය ව ඇති නිසා අපි ප්‍රතිචාර දිනා ගත්තා. ඔවුන් බොරුවෙන් මුලා කල නොහැකියි. ඔවුන්ට අවශ්‍ය වන්නේ යුද්ධයට, කප්පාදුවට සහ ආඥාදායකත්වයට එරෙහිව සැබවින්ම සටන් කරන දේශපාලන ව්‍යාපාරයක්. ඔවුන්ට අවශ්‍ය සාමය සහ සමාජ අයිතීන් සහිත අනාගතයක්. අප අවධාරනය කල පරිදි, එය කුනු වූ පාර්ලිමේන්තුවෙන් හෝ ධනේශ්වර පක්ෂවලින් ලැබෙන්නේ නෑ. එයට කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක් අවශ්‍ය වෙනවා.