මැයි දිනය 2025

යුද්ධයට එරෙහි ව නවසීලන්ත සහ පැසිෆික් කම්කරු පන්තිය එක්සත් කරනු!

පහත පලවන්නේ, 2025 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියේ දී, නවසීලන්තයේ සමාජවාදී සමානතා කන්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකු වන ටොම් පීටර්ස්, 'Unite the New Zealand and Pacific working class against war!' යන මැයෙන් කල කතාවයි.

2025 මැයි දින රැලියේ දී ටොම් පීටර්ස් කල කතාව. සිංහල උපසිරැසි සහිතයි.

නවසීලන්තයේ සමාජවාදී සමානතා කන්ඩායම, අධිරාජ්‍යවාදී යුද්ධයේ, ඉහල යන සමාජ අසමානතාවයේ සහ රාජ්‍යයේ වඩ වඩාත් ඉහල යන ආඥාදායක මර්දනයේ ආසන්න අන්තරායට මුහුන දෙන මේ රටේ සහ පැසිෆික් කලාපය පුරා සිටින සියලුම ශ්‍රාවකයන්ට විප්ලවවාදී සුභ පැතුම් පිරිනමනවා.

නිව් කැලිඩෝනියාවේ, කම්කරුවන් හා තරුනයින්, ප්‍රංශ හමුදාවන්ගේ සහ පොලීසියේ වාඩිලාගැනීම් යටතේ වසරකට ආසන්න කාලයක් ගතකර තිබෙනවා. යටත් විජිත පාලනයට එරෙහි සතුරුකම සහ පෙර නොවූ විරූ මට්ටමේ සමාජ අසමානතාවයන් මගින් අවුලුවාලන ලද, පසුගිය මැයි මාසයේ දී පුපුරා ගිය මහජන විරෝධතා මෙම පොලිස් මිලිටරි භට කන්ඩායම් විසින් ප්‍රචන්ඩ ලෙස මර්දනය කෙරුනා.

2024 මැයි 23 වැනි දා, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නිව් කැලිඩෝනියාවේ නුමෙයා හි පොලිස් මධ්‍යස්ථානයට සංචාරය කරමින් [AP Photo/Ludovic Marin]

පසුගිය වසරේ දී දරිද්‍රතාවයේ බිහිසුනු මට්ටම්වලට ප්‍රතිචාර වශයෙන් පැන නැගි, කැරලිවලින් කම්පනයට පත් වූ, ඕස්ට්‍රේලියාවේ පැරනි යටත් විජිතයක් වන, පැපුවා නිව්ගිනියාව තුල ද එම පුපුරන සුලු සමාජ අර්බුදය පවතිනවා.

සියලු අධිරාජ්‍යවාදී බලවතුන් පැසිෆික් කලාපය මත සිය ග්‍රහනය දැඩි කරමින් සිටිනවා. එක්සත් ජනපදය සමග සන්ධානයක් තුල, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීම සඳහා මුලු සාගරයම මිලිටරිකරනය කරමින් සිටිනවා. සමාජ අසහනය මැඩලීම සඳහා ඕස්ට්‍රේලියාව විශේෂ පැසිෆික් පොලිස් මුලපිරීමක් ස්ථාපිත කර තිබෙනවා.

නවසීලන්තයේ දේශපාලන සංස්ථාපිතය, 15,000කට වඩා අඩු ජනගහනයක් සහිත නවසීලන්තයේ අර්ධ යටත් විජිතයක් වන කුක් දූපත් ආන්ඩුව චීනය සමඟ ආර්ථික ගිවිසුම් අත්සන් කර ඇති නිසා එය දැඩි ලෙස හෙලා දැක තිබෙනවා.

'නිව්සීලන්ඩ් හෙරල්ඩ්' පුවත්පතේ දක්ෂිනාංශික තීරු ලිපි රචකයෙකු යෝජනා කලේ කුක් දූපත් අත්පත් කර ගැනීම සඳහා විශේෂ බලකායන් යැවිය හැකි බවයි. “චීනය නවසීලන්තය ආක්‍රමනය කරමින් සිටින” බව උමතු ලෙස ප්‍රකාශ කල ලේබර් පක්ෂයට හිතැති ඩේලි බ්ලොග් එම අදහස අනුමත කලා. ඔවුන්ගේ චීන විරෝධී යුද ප්‍රචාරනයට අපගේ විරුද්ධත්වය නිසා බ්ලොග් අඩවිය සමාජවාදී සමානතා කන්ඩායමට 'ද්‍රෝහීන්' ලෙස මඩ ගසා තියෙනවා.

මේවා හිස් තර්ජන නෙවෙයි. පසුගිය වසර 20 තුල නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු හමුදා සොලමන් දූපත්, නැගෙනහිර ටිමෝරය සහ ටොංගා හි තම කොල්ලකාරී අවශ්‍යතා ආරක්ෂා කිරීමට නැවත නැවතත් මැදිහත් වී තියෙනවා.

නවසීලන්තයේ දක්ෂිනාංශික සභාග ආන්ඩුව, ලෝකය ප්‍රචන්ඩ ලෙස යලි බෙදීමට සහ බිලියන ගනන් මිනිසුන් යටත් විජිත වහල් තත්වයට හෙලීමේ වොෂින්ටනයේ තල්ලුව තුලට සිය ඒකාබද්ධතාවය ශක්තිමත් කරමින් සිටිනවා. ඔවුන් යේමනයට බෝම්බ හෙලීමට සහය වීමට හමුදා නිලධාරීන් යවා තිබෙනවා. ඔවුන් ගාසා තීරයේ එක්සත් ජනපද-ඊශ්‍රායල් ජන සංහාරයට සහාය දක්වනවා. රුසියාවට එරෙහිව නේටෝව විසින් මෙහෙයවන යුද්ධයේදී යුක්‍රේන හමුදාවන්ට පුහුනුව සහ අනෙකුත් සහාය ලබාදෙමින් සිටිනවා.

ලේබර් පක්ෂයේ සහාය ඇතිව ජාතික පක්ෂය නායකත්වය දෙන ආන්ඩුව, එක්සත් ජනපදයේ ඉල්ලීම්වලට අනුකූලව දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 සිට 2 දක්වා මිලිටරි වියදම් දෙගුන කිරීමට සැලසුම් කරනවා. මිසයිල සහ ඩ්‍රෝන යානා සඳහාත් හමුදාවට තවත් තරුනයින් බඳවා ගැනීමටත් ඩොලර් බිලියන ගනන් නාස්ති කෙරෙනවා ඇති. අනිවාර්ය හමුදා පුහුනුව නැවත හඳුන්වාදීම ගැන මාධ්‍ය දැනටමත් සාකච්ඡා කරමින් සිටිනවා.

මෙම මිලිටරිවාදී න්‍යාය පත්‍රයට විරුද්ධ විය යුතුයි. මේවාට මුදල් උදුරා ගන්නේ කම්කරු පන්තියෙන්. ඔවුන් දැනටමත් සෞඛ්‍ය, අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අංශවල රුදුරු කප්පාදුවකට මුහුන දෙමින් සිටිනවා. ධනේශ්වර ගැති වෘත්තීය සමිති යන්ත්‍රයේ ආධාරයෙන් මේ කප්පාදුව ක්‍රියාවට දැමී තිබෙනවා. රටේ විශාලතම වෘත්තීය සමිතිය වන රාජ්‍ය සේවා සංගමය (Public Service Association) රැකියා දහස් ගනනක් කපා හැරීමට උදව් කරන අතරම, වැඩි මිලිටරි වියදම් සඳහා සහාය දක්වනවා.

පසුගිය වසර පුරා ගාසා ජන සංහාරයට එරෙහිව මහජන විරෝධතා සහ මහජන සෞඛ්‍ය කප්පාදුවට එරෙහිව වැඩ වර්ජන සහ විරෝධතා පැවතුනා. විරුද්ධත්වය මැඩපැවැත්වීම සඳහා, කම්කරු පක්ෂයේ පිටුබලය ඇති ආන්ඩුව, ඊනියා 'විදේශ මැදිහත්වීම්' වලට එරෙහිව ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති සකස් කරමින් සිටිනවා.

2024 ජූනි 27 වැනි දා, වෙලිංටන් හි පැවැත් වුනු ගාසා ජනසංහාරයට එරෙහි විරෝධතා පා ගමනේ කොටසක්

සමාජවාදී සමානතා කන්ඩායම කම්කරු පන්තිය තුල සිදුවෙමින් පවතින වෙනසට අවශ්‍ය සමාජවාදී දේශපාලන ඉදිරිදර්ශනය කාවැද්දීමට සටන් වදින එකම දේශපාලන සංවිධානයයි.

දේශපාලන සංස්ථාපිතය සහ වෘත්තීය සමිති නිලධරය ජාතිය, ජාතිකත්වය සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම්ව කම්කරු පන්තිය බෙදීමට දරන සියලු උත්සාහයන්ට එරෙහිව දැනුවත් අරගලයක් මේ සඳහා අවශ්‍ය වෙනවා.

සභාග ආන්ඩුවේ අන්ත දක්ෂිනාංශික පක්ෂ වන ඒසීටී පක්ෂය සහ නිව් සීලන්ඩ් ෆස්ට්, වර්ගවාදය සහ ආගම්වාදය අවුස්සමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපායන් අනුගමනය කරනවා. පසුගිය වසර පුරාවට දස දහස් ගනනක් ජනයා ඔවුන්ගේ මාඕරි-විරෝධී වාචාල ක්‍රියාවට එරෙහිව විරෝධතා දක්වා ඇත.

සමාජවාදී සමානතා කන්ඩායම අනතුරු අඟවා සිටින්නේ ලේබර් පක්ෂය, හරිතයන්, තේ පැටි මාඕරි (Te Pāti Māori) සහ විවිධ ව්‍යාජ-වාම කන්ඩායම් විසින් ප්‍රවර්ධනය කරන ලද මාඕරි ජාතිකවාදය සහ අනෙකුත් අනන්‍යතා දේශපාලනය ද ඒ තරමටම භේදකාරී හා ප්‍රතිගාමී බවයි. ඔවුන්ගේ අරමුන වන්නේ සමාජයේ කේන්ද්‍රීය බෙදීම ජාතිය නොව කම්කරුවන් හා ධනේශ්වර ප්‍රභූව අතර පන්ති පරතරය යන්න වසං කොට ස්වදේශික ධනපතියන් ඇතුලු පාලක පන්තියේ විවිධ කොටස් වලට කම්කරුවන් යටත් කිරීමයි.

ලේබර් පක්ෂය කාරුනික, මෘදු විකල්පයක් නියෝජනය කරයි යන මතය වංචාවක්. ජාත්‍යන්තරව ව්‍යාජ වාම පක්ෂ විසින් දිගු කලක් පැසසුමට ලක් වූ ජසින්ඩා ආඩන්, 2023 මැතිවරනයෙන් ලේබර් පක්ෂය අන්ත පරාජයට පත් වීමට මාස කිහිපයකට පෙර අගමැති ධූරයෙන් ඉල්ලා අස් වුනා. ඇගේ ආන්ඩුව යටතේ, නිවාස හිගය සහ ලමා දරිද්‍රතාවය වැඩිවුනා; එය එක්සත් ජනපදය සමග සන්ධානය ශක්තිමත් කල අතර එය ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරය අනුමත කලා. එක්සත් ජනපදයට සංක්‍රමනය වූ ආර්ඩර්න් එහිදී කමලා හැරිස්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරය ප්‍රවර්ධනය කලා. ඇය ජන සංහාරයට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරවල ඩිමොක්‍රටික් පක්ෂයේ වාර්තාවට සුදු හුනු ගෑමට උත්සාහ කලා.

2023 ජනවාරි, ජසින්ඩා ආර්ඩන් ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් සමග [Photo: X account maintained by the National Archives and Records Administration]

එකම ඉදිරි මාවත වන්නේ සමස්ත ධනේශ්වර සංස්ථාපිතයෙන් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගලයයි. වෘත්තීය සමිති නිලධරයේ ග්‍රහනය බිඳ දැමීම සඳහා ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම එයට ඇතුලත්. සියල්ලටත් වඩා, නවසීලන්තයේ, චීනයේ, සහ ආසියා පැසිෆික් කලාපය පුරා, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයේ ශාඛා ගොඩනැගීමේ සටනට සම්බන්ධ වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි .

Loading