මැයි දිනය 2025

කැනේඩියානු ඇමරිකානු සබඳතා බිඳ වැටීමට සමාජවාදී ප්‍රතිචාරය

මෙය කැනඩාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් කීත් ජෝන්ස් 2025 ජාත්‍යන්තර ඔන්ලියන් මැයි දින රැලියට 'The socialist response to the breakdown in Canada-US relations' යන මැයෙන් සිදු කල කතාවේ සිංහල පරිවර්තනයයි.

2025 මැයි දිනයේදී කීත් ජෝන්ස් කල කතාව . සිංහල උපසිරැසි සහිතයි.

උතුරු ඇමරිකාවේ අධිරාජ්‍යවාදී බලවතුන් වන කැනඩාව සහ එක්සත් ජනපදය අතර සබඳතා බිඳවැටීම ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා විප්ලවවාදී ඉදිරිදර්ශනය, ක්‍රියාමාර්ගය සහ මූලෝපාය පිලිබඳ තීරනාත්මක ප්‍රශ්න මතු කරනවා. සියල්ලටත් වඩා, සියලු ආකාරයේ ජාතිකවාදය, ආරක්ෂනවාදය සහ මිලිටරිවාදය ප්‍රතික්ෂේප කිරීමේ සහ සමාජවාදී ජාත්‍යන්තරවාදය තම සියලු අරගලවල අක්ෂය බවට පත් කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කරනවා.

පසුගිය සඳුදා කැනඩාවේ මහ මැතිවරනයක් පැවැත් වුනා. ට්‍රම්ප්ගේ ගෝලීය වෙලඳ යුද්ධය සහ රට ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පරිවර්තනය කිරීමට “ආර්ථික බලය” භාවිතා කිරීමේ ඔහුගේ තර්ජන මෙම මැතිවරන ව්‍යාපාරය පුරා ආධිපත්‍යය දැරුවා.

සියලුම පක්ෂ විසින් යුදකාමී කැනේඩියානු ජාතිකවාදයේ හොරනෑව සති ගනනාවක් තිස්සේ වාදනය කිරීමෙන් පසු, ලිබරල්වාදීන්ට, තමන්ගේ අලුතින් සකස් කරන ලද නායකයා වන හිටපු මහ බැංකුකරුවකු සහ ඉහල පෙලේ සංගත විධායක නිලධාරියෙකු වන මාර්ක් කාර්නි යටතේ බලය රඳවා ගැනීමට හැකි වුනා.

2025 මාර්තු 17 වැනි දා, සඳුදා, කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි එංගලන්තයේ ලන්ඩන්හි දී [AP Photo/Jordan Pettitt]

ඔවුන් එසේ කලේ ෆැසිස්ට්වාදී, වෙන්න-ආඥාදායක ට්‍රම්ප්ට එරෙහි මහජන රැල්ලක් මතින්.

මහා ව්‍යාපාරික ලිබරල්වාදීන් යන්තම් සති කිහිපයකට පෙර දැවැන්ත මැතිවරන පරාජයක අන්තරායක සිටියත් ට්‍රම්ප් කෙරෙහි වැඩකරන ජනතාවගේ සතුරුකම සාර්ථක ව ගසා කෑමට සමත් වුනා. මෙයට මුලුමනින් ම හේතු වුනේ කම්කරු පන්තියේ නාමයෙන් කතා කරන බව කියන සංවිධානවල වෘත්තීය සමිති සහ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී නව ඩිමොක්‍රටික් පක්ෂයේ (එන්ඩීපී) ප්‍රතිගාමී දේශපාලනයයි.

ධනේශ්වර ප්‍රතිගාමිත්වයේ වඩාත්ම විවෘත අනුගාමිකයින් වන කොන්සර්වේටිව් පක්ෂය බලයට ඒම වැලැක්වීම සඳහා පාලක පන්තියේ ජාතික ආන්ඩුවේ සම්ප්‍රදායික පක්ෂය වන ලිබරල්වාදීන් සමග සන්ධානගත විය යුතු බව කම්කරුවන්ට පවසමින් දශක ගනනාවක් තිස්සේ ඔවුන් පන්ති අරගලය යටපත් කලා. 2019 සිට එන්ඩීපී ය, වෘත්තීය සමිතිවල ඉල්ලීම පරිදි, පාලක පන්තියේ විනාශකාරී, 'ජීවිතවලට පෙර ලාභය' නම් වූ කෝවිඩ්-19 වසංගත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කල, රුසියාවට එරෙහිව යුද්ධයක් දියත් කල, ගාසා විරෝධී ජන සංහාරක විරෝධතා මර්දනය කල, උද්දමනය තුලින් වැටුප් කප්පාදු පැනවූ වැඩ වර්ජන සාපරාධීකරනය කල දක්ෂිනාංශික සුලුතර ලිබරල් ආන්ඩුවලට මුක්කු ගැසුවා.

පසුගිය සරත් සෘතුවේ තම සති හතරක වැඩවර්ජන ක්‍රියාමාර්ගය අතරතුර ඔන්ටාරියෝ හි නයගරා-ඔන්-ද-ලේක් හි තැපැල් කන්තෝරුවක පිකට් කරන කැනේඩියානු තැපැල් කම්කරුවෝ. කැනේඩියානු කම්කරු නීතියේ 107 වැනි කොටස තම අභිමතය පරිදි යලි අරුත්ගන්වමින් ටෲඩෝ ආන්ඩුව මෙම වැඩවර්ජන ව්‍යාපාරය බිඳ දැම්මේ ය.

වෘත්තීය සමිති සහ එන්ඩීපී නායකයෝ ලිබරල් ආන්ඩුවේ වෙලඳ-යුධ කවුන්සිලවල වාඩි වීමට කඩිමුඩියේ දිව ගියා. ඒ ඇමරිකානු කම්කරුවන්ගේ රැකියා සහ ජීවන තත්වයන් ඉලක්ක කරගනිමින් ඔටාවා ආන්ඩුවේ පලිගැනීමේ තීරුබදු වලට තමන්ගේ පූර්න සහයෝගය ලබා දීමට.

කම්කරු නිලධරය කැනේඩියානු ප්‍රාග්ධනය හා එහි රාජ්‍යය සමග ගොඩනගාගෙන ඇති සංගතවාදී හවුල්කාරිත්වයේ දේශපාලන-දෘෂ්ටිවාදී සිමෙන්තිය නම්, කැනේඩියානු ධනවාදය දකුනේ රස්තියාදුකාර ඩොලර් ජනරජයට (ඇමරිකාවට) සාපේක්ෂව වඩා 'ප්‍රගතිශීලී', 'මෘදු, කාරුනික' සමාජයකින් සමන්විත වේ යන බොරුව මත පදනම් වූ ප්‍රතිගාමී කැනේඩියානු සහ ක්විබෙක් ජාතිකවාදයයි.

ට්‍රොට්ස්කි නිරීක්ෂනය කල පරිදි, ප්‍රාග්ධනයේ කම්කරු ලුතිනන්වරු සෑම විටම උත්සාහ කරන්නේ ධනේශ්වරයේ වෙලඳ, භූ දේශපාලනික හා මිලිටරි ගැටුම්වල දී තම වරප්‍රසාද වෙනුවෙන් තම පක්ෂපාතීත්වය පිරිනමන අධිරාජ්‍යවාදී රාජ්‍යය “සතුරාට වඩා ප්‍රජාතන්ත්‍රවාදී” හෝ සමාජීය වශයෙන් “දියුනු” බව පවසමින් කම්කරුවන් ඔවුන්ට එයට යට කිරීමටයි. පසුගිය ශතවර්ෂයේ අධිරාජ්‍යවාදී ලෝක යුද්ධ දෙකේදී එය එසේ වුනා, අදත් එය එසේමයි.

කාර්නි හෝ පාලක පන්තියේ දේශපාලන නියෝජිතයන් ට්‍රම්ප්ට විරුද්ධ වන තාක් දුරට, ඒ තනිකර ම කැනේඩියානු පාලක පන්තියේ ලාභ, ගෝලීය භූ මූලෝපායික අවශ්‍යතා සහ කැනඩාවේ කම්කරුවන් සහ එහි බහුල සම්පත් සූරාකෑමේ පලමු අයිතිය ආරක්ෂා කිරීමේ ආස්ථානයෙන් පමනි

දැන් පවා, කැනේඩියානු ධනේශ්වරයේ වඩාත් කැමති විකල්පය වන්නේ චීනයට හෝ අභියෝග කරන ඕනෑ ම රටකට හෝ එරෙහි ව එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යය සුරක්ෂිත කිරීම ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් උතුරු ඇමරිකාවේ බලකොටුවක වොෂින්ටනයේ සහ වෝල් වීදියේ කනිෂ්ඨ හවුල්කරුවෙකු ලෙස නිසි ලෙස පිලිගත් භූමිකාවක් ලබා ගැනීමයි.

කම්කරුවන් කටුක යථාර්ථයක් අවබෝධ කර ගැනීමට නියමිතයි. කාර්නිගේ ලිබරල් ආන්ඩුව කැනේඩියානු ඉතිහාසයේ වඩාත්ම දක්ෂිනාංශික ආන්ඩුව බව ඉක්මනින් ඔප්පු කරනු ඇත. එක්සත් ජනපදයේ රිපබ්ලිකානුවන් මෙන් අන්ත දක්ෂිනාංශයේ පක්ෂයක් බවට වඩ වඩාත් හැඩගැසී ඇති කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රධාන ප්‍රතිපත්ති කොපි කිරීමෙන් දැනටමත් ඇඟවුම් කර ඇති පරිදි ලිබරල් ආන්ඩුුව කප්පාදු, යලි සන්නද්ධ කිරීමේ සහ යුද්ධයේ ආන්ඩුවක් වනු ඇත.

ට්‍රම්ප් කැනඩාවේ සහ ලෝකයේ කම්කරුවන්ට තර්ජනයක්. එහෙත් කැනේඩියානු ධනේශ්වරය, එහි කිසිදු ප්‍රතිවාදී කන්ඩායමක් හෝ එහි දේශපාලන නියෝජිතයන් සමග පෙලගැසීමෙන්, ට්‍රම්ප් හෝ ඔහුගෙන් නියෝජනය වන, කතිපයාධිකාරය, ආඥාදායකත්වය සහ අධිරාජ්‍යවාදී යුද්ධය ට එරෙහි ව කම්කරුවන්ට සටන් කල නොහැකියි.

ඒ වෙනුවට, ඔවුන් තමාගේ බලය සඳහා ව්‍යාපාරයක් ගොඩනඟා ගෙන ඇමරිකානු කම්කරු පන්තිය තුල දැන් මතුවෙමින් පවතින ට්‍රම්ප්ට එරෙහි මහජන විරෝධතා සමග තම අරගල ඒකාබද්ධ කිරීමට සටන් කල යුතුයි. ඒ ආකාරයට තමන්ගේ ස්වාධීන පන්ති අවශ්‍යතා තහවුරු කල යුතුයි. ජරාජීර්න ලෝක ධනේශ්වර පර්යායට අභියෝගයක් එල්ල කිරීමේ අත්‍යාවශ්‍ය පලමු පියවර ලෙස කම්කරුවන්, දශක ගනනාවක් තිස්සේ පාලක පන්තියට තම අත පය බැඳ තැබීමට යොදවා ඇති වෘත්තීය සමිති-එන්ඩීපී-ලිබරල් සන්ධානය සහ කැනේඩියානු හා ක්විබෙක් ජාතිකවාදය ප්‍රතික්ෂේප කල යුතුයි.

බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්ත අගමැති ඩේවිඩ් ඊබි (ඉදිරි පෙල දකුනේ සිට පස් වැනියා) සහ නිව් ඩිමොක්‍රටික් පක්ෂයේ බ්‍රිටිෂ් කොලොම්බියා ශාඛාවේ සෙසු සාමාජිකයින් මේපල් පත්‍රය කැනඩාවේ ජාතික ධජය ලෙස තෝරා ගැනීමේ 60 වැනි සංවත්සරය සමරන “ධජ දිනය” දා ජුගුප්සාජනක ජාතිකවාදී උත්සවයක් පවත්වමින් [Photo: X/David Eby]

සමාජවාදී සමානතා පක්ෂය (කැනඩාව) අපගේ මැතිවරන ප්‍රකාශයේ පැහැදිලි කල පරිදි:

උතුරු ඇමරිකාවේ කම්කරු පන්තියේ සියලුම ප්‍රධාන දැවැන්ත පන්ති අරගල - කම්කරු නයිට්වරුන්ගේ සිට 1930 ගනන්වල වාඩි ලා ගැනීමේ වැඩ වර්ජන සහ 1960 ගනන්වල මහජන සමාජ අරගල දක්වා- කැනඩා-එක්සත් ජනපද දේශසීමාවේ දෙ පස ම කම්කරු පන්තියේ සහයෝගයත් ක්විබෙක් ප්‍රාන්තයේ ප්‍රංශ බස කතා කරන කම්කරුවන්ගේ සහයෝගයත් දිනා ගත්තා. ඒකාබද්ධ අරගලවල මෙම සම්ප්‍රදායන්ගේ උසස් අංගයන් උකහා ගනිමින් ඒවා නව සහ වැඩි දියුනු සමාජවාදී අන්තර්ගතයකින් පුරවා ලීම අද දවසේ අප හමුවේ ඇති කර්තව්‍යයයි.

2025 මැයි දිනයේ දී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට එහි පක්ෂවලට සහ ආධාර කන්ඩායම්වලට සම්බන්ධ වීමෙන්, යුද්ධයට, කතිපයාධිකාරයට සහ ආඥාදායකත්වයට ඇති එකම ප්‍රගතිශීලී පිලිතුර වන සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියාමාර්ගය සහ කම්කරුවන්ගේ උතුරු ඇමරිකාවක් වෙනුවෙන් කම්කරු පන්තිය දිනා ගැනීමේ සටන අරඹන්න. ස්තූතියි!

Loading