Mobilize the working class against Trump’s dictatorship! යන මැයෙන් පල කෙරුනු මෙම ප්‍රකාශය ජුනි 14 වන සෙනසුරාදා පැවැත්වෙන විරෝධතාවලදී බෙදා හරිනු ඇත. ජුනි 15දා, ලෝසවෙඅ 'ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය සහ එය නතර කරන්නේ කෙසේද' යන මැයෙන් හදිසි ඔන්ලයින් රැස්වීමක් පවත්වයි. එයට ලියාපදිංචි වී සහභාග වන ලෙස අපගේ සියලුම පාඨකයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.
ජුනි 14 වන සෙනසුරාදා, එක්සත් ජනපදය පුරා ස්ථාන 2,000 කට අධික සංඛ්‍යාවක විරෝධතා පැවැත්වෙනු ඇත. සතියක විරෝධතාවලින් පසුව, ට්‍රම්ප් සංක්‍රමනිකයින්ට එල්ල කරන ප්‍රහාරයට සහ ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට ගන්නා පියවරයන්ට එරෙහිව, රට පුරා නගරවල වැඩ කරන ජනතාව සහ තරුනයෝ විශාල පිරිසක් වීදි බැස සිටිති.
විරෝධතා දක්වන සියලු දෙනා තේරුම් ගත යුත්තේ, සිවිල් යුද්ධයට පමනක් සමාන කල හැකි, සියවසකට වැඩි කාලයක් තුල පෙර නොවූ විරූ අර්බුදයකට තමන් මුහුන දී සිටින බවයි. එදා, එය වහල් ක්‍රමයට එරෙහිව ජීවිතයත් මරනයත් අතර අරගලයක් වූ අතර, අද එය ධනවාදයට සහ පාලක කතිපයාධිකාරයට එරෙහිව ජීවිතයත් මරනයත් අතර අරගලයකි.
විරෝධතා පැවැත්වෙන දිනයේම, ලොස් ඇන්ජලීස් හි සතියක් පුරාවට හමුදා යෙදවීම් උත්සන්න කිරීමෙන් පසුව, වොෂින්ටන් ඩී.සී. හි දැවැන්ත හමුදා පෙලපාලියක් පැවැත්වේ. එක්සත් ජනපද මිලිටරිය ස්ථාපිත කිරීමේ 250 වන සංවත්සරය සැමරීම සඳහා පවත්වන බව පෙන්නුම් කෙරෙන මෙම පෙලපාලියේ සැබෑ අරමුන වන්නේ, ට්‍රම්ප්ගේ 79 වන උපන්දිනයේදී ඔහුට උපහාර දැක්වීම සහ හමුදාව මත ඔහුගේ අනභියෝගී පුද්ගලික පාලනය ප්‍රදර්ශනය කිරීමයි.
මෙම පෙලපාලියේ අරමුන වන්නේ, සන්නද්ධ හමුදා සහ පොලිසිය ට්‍රම්ප්ගේ අන පරිදි පාලනය වන බව, ජනාධිපති විසින් ඔහුගේ සියලු විරුද්ධවාදීන්ට අනතුරු අඟවා සිටීමයි. සංවරන සහ තුලනයන් පිලිබඳ ව්‍යවස්ථාමය රාමුව අහෝසි කරමින් තිබේ. ඒ වෙනුවට, හදිසි නියෝග, මිලිටරි බලය සහ ෆැසිස්ට් ප්‍රචන්ඩත්වය හරහා බලාත්මක කරන ලද නියෝගය මගින් ට්‍රම්ප්, ජනාධිපති පාලනයක් ස්ථාපිත කරමින් සිටී.
කැලිෆෝනියා සෙනෙට් සභික ඇලෙක්ස් පැඩිල්ලාට බ්‍රහස්පතින්දා එල්ල වූ ප්‍රහාරය දේශපාලනික හා ශාරීරික බිය ගැන්වීමේ මෙම ව්‍යාපාරයට අනුකූල වේ. එෆ්බීඅයි ඒජන්තයෝ පැඩිල්ලාට ප්‍රචන්ඩ ලෙස අඩන්තේට්ටම් කර මාංචු දැමුවේ, ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් ක්‍රිස්ටි නොයම් වෙත ප්‍රශ්න ඉදිරිපත් කරමින් සිටියදී ය.
අඟහරුවාදා, ට්‍රම්ප්, ෆෝට් බ්‍රැග්හිදී, විරුද්ධවාදීන් සහ විරෝධතාකරුවන් තලා දැමිය යුතු, 'තිරිසනුන්' සහ 'සතුරන්' ලෙස හෙලා දකිමින් අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකලේ ය. පැඩිල්ලා නෙරපා හරින ලද එම මාධ්‍ය හමුවේදීම නොයම් ප්‍රකාශ කලේ, 'සමාජවාදීන්ගෙන් නගරය මුදා ගැනීම' සඳහා හමුදාව ලොස් ඇන්ජලීස් හි රැඳී සිටින බවයි. මෙය නාසීන්ගේ භාෂාව යි. හිට්ලර් බලයට පත් වූ විට, ඔහු ද ප්‍රකාශ කලේ එය සමාජවාදයේ අවසානය බවයි.
ට්‍රම්ප්ගේ සියලු ක්‍රියාවන් අමු අමුවේම සහ පැහැදිලිවම නීති විරෝධී ය. බ්‍රහස්පතින්දා, ලොස් ඇන්ජලීස් වෙත ජාතික ආරක්ෂක භටයින් යෙදවීම අවහිර කරමින් තීන්දුවක් නිකුත් කරමින්, කැලිෆෝනියාවේ ෆෙඩරල් විනිසුරුවරයෙක් මෙසේ ලිවීය: “[ට්‍රම්ප්ගේ] ක්‍රියාවන් - ව්‍යවස්ථවෙන් ඔහුට ලැබී ඇති අධිකාරියේ විෂය පථය ඉක්මවා යාම සහ එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහවන සංශෝධනය උල්ලංඝනය කිරීම යන දෙකෙන් ම - නීති විරෝධී විය.” බ්‍රහස්පතින්දා රාත්‍රිය වන විට, අභියාචනාධිකරනයක් මෙම නියෝගය තාවකාලිකව අවහිර කල අතර, ජුනි 17දා මේ ගැන විභාගයක් පැවැත්වීමට නියමිතය.
අධිකරන තීන්දු වලින්, ඒවා ට්‍රම්ප් පරිපාලනය ට පටහැනිව ගිය ද, දැනටමත් අධිකරන තීන්දු උල්ලංඝනය කර ඇති එය, ට්‍රම්ප් තම ක්‍රියාවන් නතර කරනු ඇතැයි යන මිත්‍යාවේ කිසිවෙකු නොසිටිය යුතුය. සතියේ මුලදී, ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්, ධවල මන්දිරය එයට එරෙහි අධිකරන තීන්දුවකට අවනත වන බව ප්‍රකාශ කිරීම නැවත නැවතත් ප්‍රතික්ෂේප කලේය.
ක්‍රියාත්මක කරමින් ඇත්තේ, රටතුලත් හා ඉන් පිටතත් ප්‍රචන්ඩත්වය දැවැන්ත ලෙස උත්සන්න කරමින් තිබීම යි. ට්‍රම්ප්ගේ හමුදා පෙලපාලිය ආසන්න වෙමින් තිබියදී, ඊශ්‍රායලය, ඉරානයට එරෙහිව මිලිටරි ප්‍රහාර සිය ගනනක් දියත් කලේය. ගාසා තීරයේ ජන සංහාරය දැන් මැද පෙරදිග පුරා පූර්න පරිමාන යුද්ධයක් දක්වා ව්‍යාප්ත වෙමින් පවතී.
සෙනසුරාදා විරෝධතා දක්වන අයට, ඉදිරිදර්ශනය පිලිබඳ තීරනාත්මක ප්‍රශ්න ඉදිරිපත් කෙරී ඇත: මෙය කෙසේ නැවතිය හැකි ද? ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය පරාජය කල හැක්කේ කෙසේද?
පසුගිය සතියේ සිදුවීම් එක් දෙයක් සම්පූර්නයෙන්ම පැහැදිලි කර දී ඇත: එනම්, ඩිමොක්‍රටික් පක්ෂය විසින් සැලකිය යුතු විරෝධත්වයක් සංවිධානය නොකරනු ඇත යන්නයි. ට්‍රම්ප් ප්‍රචන්ඩත්වයේ සහ සිවිල් යුද්ධයේ භාෂාවෙන් කතා කරන අතර, ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රතිචාර දක්වන්නේ, නඩු දැමීම් සහ කඳුලුබර වැලපීම්වලිනි.
ට්‍රම්ප්ගේ 'පමන ඉක්මවා කටයුතුකිරීම්' පිලිබඳව ඇල්මැරුනු විවේචන ඉදිරිපත් කරන අතරම, ඔහුගේ කතාන්තර පුනරුච්ඡාරනය කරන ඩිමොක්‍රටික් පක්ෂය, විරුද්ධත්වය මර්දනය කිරීමට සහාය දී තිබේ. (ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන් වන-පරි.) කැලිෆෝනියා ආන්ඩුකාර ගැවින් නිව්සම් ලොස් ඇන්ජලීස් හි සමූහ අත්අඩංගුවට ගැනීම් අධීක්ෂනය කිරීම සඳහා ප්‍රාන්ත පොලිස් නිලධාරීන් 800 ක් යොදවා ඇති අතර, නගරාධිපති කැරන් බාස් විරෝධතා මර්දනය කිරීම සඳහා ලෝස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව බලමුලු ගන්වා ඇත. පනිවිඩය පැහැදිලිය: 'මර්දනය පාලනය කිරීමට අපට ඉඩ දෙන්න.'
ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය දිග හැරෙමින් තිබියදී, නය සීමාව අහෝසි කිරීමේ ඔහුගේ යෝජනාවට එකඟතාවය ප්‍රකාශ කිරීමට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට උපදේශාත්මක කොලමක් ලියූ “වාම” ඩිමොක්‍රටික එලිසබෙත් වොරන් විසින් පක්ෂයේ බියගුලුකම මූර්තිමත් කෙරුනි. 'මම ෆැසිස්ට්වාදයට කැමති නැහැ, නමුත් මුසෝලිනී දුම්‍රිය නියමිත වේලාවට ධාවනය කෙරෙවුවා' යැයි ඇය ලීවා ය.
බර්නි සැන්ඩර්ස් යලිවතාවක් දේශපාලන ආරක්ෂක කපාටයක් ලෙස ඔහුට පවරා ඇති භූමිකාව ඉටු කරමින් සිටී. ඔහු, කතිපයාධිකාරය පිලිබඳ සිදුකරන වාචාල හෙලාදැකීම්, ධනේශ්වර ඩිමොක්‍රටික් පක්ෂයට දෙන වහල් සහයෝගය සහ රිපබ්ලිකන් පක්ෂයෙන් වඩා හොඳ හැසිරීමක් සඳහා කෙරෙන අශෝභන ආයාචනා සමඟ ඒකාබද්ධ කරයි. දේශපාලන නරුමත්වය සහ අවස්ථාවාදය වඩාත් කැපී පෙනෙන ආකාරයෙන් විදහා දක්වමින්, දේශසීමා වසා දැමීමේදී සහ සංක්‍රමනිකයින්ට පහර දීමේදී ට්‍රම්ප් විසින්ම 'නිවැරැදි දේ කර ඇති' බව සැන්ඩර්ස් ප්‍රකාශ කර ඇත.
සෑම විටම මෙන්, ඩිමොක්‍රටිකයින්ගේ ප්‍රතිචාරය බියගුලුකම, නිර්ලජ්ජිතභාවය සහ සම්පූර්න වංචාවේ එකතුවකින් සංලක්ෂිත වේ. කෙසේ වෙතත්, මෙයට යටින් පවතින්නේ දේශපාලන අවශ්‍යතා සහ පන්ති සලකා බැලීම් ය. රිපබ්ලිකන් පක්ෂයට නොඅඩු ව ඩිමොක්‍රටික් පක්ෂය, සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ පක්ෂයකි. ට්‍රම්ප් සමඟ පවත්නා එහි ප්‍රධාන නොඑකඟතා විදේශ ප්‍රතිපත්තියේ කාරනා මත කේන්ද්‍රගත වී ඇත.
ට්‍රම්ප්ට එරෙහි මහජන ප්‍රතිරෝධය සමාජ අසමානතාවයට, ධනවාදයට සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සමස්ත රාමුවටම එරෙහි පුලුල් ව්‍යාපාරයක් දක්වා වර්ධනය විය හැකි යැයි ඩිමොක්‍රටිකයෝ බිය පත්ව සිටිති.
කතිපයාධිකාරයේ ආන්ඩුව
වර්තමාන අර්බුදය දේශපාලන සම්මතයන්ගෙන් තාවකාලික අපගමනයක් පමනක් බවටත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වන ප්‍රහාර ට්‍රම්ප්ගේ පෞරුෂයෙන් පැන නගින හුදු 'පමන ඉක්මවා කටයුතු කිරීම්' පමනක් බවටත් මවාපෑමක් පවත්වා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය උත්සාහ කරයි. ඔවුන් නොකියන කාරනාව වන්නේ, රාජ්‍යයේ ප්‍රචන්ඩ ප්‍රතිව්‍යුහගත කිරීම, ස්ථිර දේශපාලන ආඥාදායකත්වයක් නිර්මානය කිරීම අරමුනු කරගෙන තිබේය යන්නයි.
ට්‍රම්ප් පරිපාලනය යනු මූල්‍ය කතිපයාධිකාරයේ, ඔවුන් විසින් සහ ඔවුන් වෙනුවෙන් පාලනය වන ආන්ඩුවකි.
නමුත් එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතීන් බිඳවැටීම එක රැයකින් ඇති වූවක් නොවන බව තේරුම් ගත යුතුය. මිලිටරි-කාර්මික සංකීර්නයේ බලයේ ඇඟවුම් ගැන අයිසන්හවර් අනතුරු ඇඟවූ දා සිට වසර 65 කට ආසන්න කාලයක් ගත වී ඇත. වෝටර්ගේට් අර්බුදය, ඇමරිකානු ජනාධිපතිවරයෙකුවූ නික්සන්ගේ පලමු ප්‍රධාන දේශපාලන කුමන්ත්‍රනය හෙලිදරව් කිරීමෙන් පසු අඩ සියවසකට වැඩි කාලයක් ගත වී ඇත. ගෝර් ට එදිරිව බුෂ් නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරනයේ 5-4 තීන්දුව හරහා ජනාධිපති මැතිවරනයක් සොරකම් කිරීමෙන් වසර විසිපහක් ගත වී ඇත.
2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව 'ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය' යොදා ගනු ලැබුවේ, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂය යටතේ, දේශප්‍රේමී පනත, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ගුවන්තනාමෝ වධකඳවුර, සීඅයිඒ වධහිංසා පැමිනවීම, දේශීය ඔත්තු බැලීම සහ ජනාධිපති නියෝගයෙන් ඩ්‍රෝන් ඝාතනය ඇතුලුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ක්‍රමානුකූලව ඛාදනය කිරීම සාධාරනීකරනය කිරීම සඳහා ය.
මෙම වර්ධනයන් අන්තර් සම්බන්ධිත හේතු තුනක් සමඟ බැඳී ඇත: 1) ඇමරිකානු ධනවාදයේ දිගුකාලීන පරිහානිය, 2) ලොව පුරා මිලිටරි ප්‍රචන්ඩත්වය හරහා මෙම පරිහානිය ආපසු හැරවීමට දරන උත්සාහයන් සහ 3) ඇමරිකානු ඉතිහාසයේ පෙර නොවූ විරූ මට්ටම් කරා ලඟා වී ඇති සමාජ අසමානතාවයේ ආන්තික වර්ධනය.
මෙම තත්වයන් තුලින්, තොරොම්බල්කරුවෙකු සහ වංචාකාරයෙකු වන ට්‍රම්ප් ජනාධිපති ධුරයට නැගුනේ, දේශපාලන සංවරන ක්‍රියාවලියක් හරහා ය. ඔහුගේ දෙවන ධුර කාලය කතිපයාධිකාරී පාලනයේ නිශ්චිත තර්කනයකට අනුකූල වේ.
සංක්‍රමනකයින්ට එරෙහි කුරිරු ප්‍රහාර සහ සමූහ පිටුවහල් කිරීම් වලින් පසු, ගාසා තීරයේ ජන සංහාරයට විරෝධය පල කල සිසුන්ට එරෙහිව පොලිස් මර්දනය, අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්; විද්‍යාඥයින්ට සහ වෛද්‍ය වෘත්තිකයන්ට පහරදීම් සහ සංස්කෘතිය, අධ්‍යාපනය සහ මහජන කතිකාව ඒකාධිපති පාලනයකට යටත් කිරීමට ගන්නා උත්සාහයන් යනාදිය ක්‍රියාත්මක වෙමින් පවතී.
මූලික ඉලක්කය කම්කරු පන්තියයි. ධනේශ්වර ප්‍රභූවේ ධනය හා බලය හීන කරන සෑම දෙයක්ම - මහජන අධ්‍යාපනය, පාරිසරික හා සේවා ස්ථාන රෙගුලාසි, සමාජ ආරක්ෂනය, වෛද්‍ය සේවා, වෛද්‍ය ප්‍රතිකාර - බිඳ විසුරුවා හැරීමට නියමිතය. ට්‍රම්ප්ගේ 'සුවිසල් මනරම් අයවැය', ධනවතුන් සඳහා දැවැන්ත බදු කප්පාදු පොරොන්දු වලින් පිරී තිබෙන අතර, ම්ලේච්ඡ කප්පාදු සහ සමාජ ආරක්ෂන ජාලයේ යමක් ඉතිරිවී ඇතිනම් ඒවා විනාශ කිරීම හරහා ඔවුන් වෙනුවෙන් ගෙවීමට බලාපොරොත්තු වෙයි.
එක්සත් ජනපදය තුල ඒකාධිපතිත්වයට හැරීම, විදේශයන්හි අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වය පුපුරා යාම සමග වෙන් කල නොහැක. මැද පෙරදිග යුද්ධයේ ව්‍යාප්තිය, ට්‍රම්ප් පරිපාලනය චීනය කෙරෙහි අවධානය යොමු කිරීමත් සමඟ උත්සන්න වන ගෝලීය ගැටුමක කොටසකි. රුසියාවට එරෙහිව එක්සත් ජනපද-නේටෝ යුද්ධය තීව්‍ර කල සහ ගාසා තීරයේ ජන සංහාරයට පූර්න සහාය දුන් බයිඩන් පරිපාලනයේ වාර්තාව ට්‍රම්ප් විසින් වැඩිවර්ධනය කරමින් පවතී.
සෙනසුරාදා විරෝධතා දක්වන අය මෙම දේශපාලන යථාර්ථයෙන් නිගමනවලට එලැඹිය යුතුය. ඒකාධිපතිත්වය කරා යන ගමන, එහි ප්‍රභවය වන ධනේශ්වර පද්ධතියට එරෙහිව සටන් කිරීමෙන් තොරව නතර කල නොහැකිය.
ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනයට එරෙහිව සටන් කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය පහත සඳහන් වැඩපිලිවෙල ඉදිරිපත් කරයි:
පලමුව, ට්‍රම්ප්ට එරෙහි සටන කම්කරු පන්තිය තුල මුල් බැස ගත යුතුය. ට්‍රම්ප් කරමින් සිටින දෙයට එරෙහිව සමාජය පුරා - විද්‍යාඥයින්, වෘත්තිකයන්, සිසුන් සහ මධ්‍යම පන්තියේ පුලුල් කොටස් අතර - දැවැන්ත විරෝධයක් පවතී . නමුත් ට්‍රම්ප්ට එරෙහි ව්‍යාපාරය මෙහෙයවිය හැකි සහ මෙහෙයවිය යුතු සමාජ බලවේගය කම්කරු පන්තියයි.
ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනයට එරෙහිව කම්කරු පන්තියේ අතිමහත් ශක්තිය ජනරල් ස්ට්‍රයිකයක් තුලින් බලමුලු ගැන්විය යුතුය - එනම් නිෂ්පාදන ක්‍රියාවලිය තුල මුල් බැසගත් කම්කරුවන්ගේ බලය යොදා ගනිමින් නිෂ්පාදනය අත්හිටුවීමකට ගෙනඒම යි.
මේ සඳහා ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය සහ සංක්‍රමනික කම්කරුවන්ට එල්ල කරමින් තිබෙන ම්ලේච්ඡ ප්‍රහාරය සැබවින්ම සිදුවෙමින් පවතින එකක් ලෙස පවා නොසලකන, ඒඑෆ්එල්-සීඅයිඕ නිලධරයෙන් ස්වාධීනව කම්කරුවන් සංවිධානය කිරීම අවශ්‍ය වේ. කම්කරුවන් කුදලා පිටුවහල් කරද්දී සහ සෑම හැරී ගැනීමකදීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පාගා දමද්දී, සංගතවලට සහ රාජ්‍යයට බැඳී සිටින වෘත්තීය සමිති යාන්ත්‍රනය කිසිවක් නොකරයි.
සෑම කම්හලකම, වැඩබිමකම සහ අසල්වැසි ප්‍රදේශයකම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සසප ඉල්ලා සිටී. එය, ඒකාධිපතිත්වයට එරෙහි මධ්‍යස්ථාන බවට පත්වෙමින්, සංක්‍රමනිකයින් සහ ස්වදේශිකයින් ඇතුලු සියලු ජාතීන්ට සහ ජනවාර්ගික කොටස්වලට අයත් සියලු කම්කරුවන් එක්සත් කිරීමට කටයුතු කරයි.
දෙවනුව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ට්‍රම්ප් එල්ල කරන ප්‍රහාරයට එරෙහි මහජන විරෝධය පැහැදිලි හා හදිසි ඉල්ලීම් සමඟ සම්බන්ධ කල යුතුය: ඇමරිකානු නගරවලින් සියලුම හමුදා වහාම ඉවත් කර ගැනීම; ආගමන හා රේගු බලාධිකාරිය (අයිසීඊ) විසුරුවා හැරීම සහ සියලු සංක්‍රමනික වැටලීම් අවසන් කිරීම; පැරාමිලිටරි ඒකක විසුරුවා හැරීම සහ ඒකාධිපතිත්වයට ඉඩ සලසන විධායක නියෝග ආපසු හැරවීම; සහ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලා දැමීමේ කුමන්ත්‍රනයට සම්බන්ධ සියලු දෙනා නෙරපා දමා, නඩු පැවරීම.
තෙවනුව, ඒකාධිපතිත්වයට එරෙහි සටන අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර අරගලයකි. සෑම ප්‍රධාන ධනේශ්වර රටකම පාලක ප්‍රභූන් කම්කරු පන්තියට එල්ල කරන ප්‍රහාරය උත්සන්න කිරීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව යුද ප්‍රකාශ කරමින් දකුනට නැඹුරු වෙමින් සිටිති. එක්සත් ජනපදයේ ඒකාධිපතිත්වය, ස්ථාපිත කිරීම සෑම තැනකම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා මලබෙරය හඬවන බව සෑම කම්කරුවෙකුම දනී. අර්බුදය ගෝලීය වන අතර, ප්‍රතිචාරය ගෝලීය විය යුතුය.
හතරවනුව, ධනවාදයට එරෙහිව සහ සමාජවාදය සඳහා වන සටනකින් තොරව ෆැසිස්ට්වාදයට සහ ආඥාදායකත්වයට එරෙහිව සටනක් තිබිය නොහැකිය. කතිපයාධිකාරීත්වයේ ධනය අත්පත් කර ගත යුතු අතර, දැවැන්ත සංගත සහ බැංකු කම්කරු පන්තියේ පාලනය යටතේ මහජන උපයෝගිතා බවට පරිවර්තනය කල යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සමාජ සමානාත්මතාව මත මුල් බැසගත් සමාජයක් ස්ථාපිත කිරීමේ පදනම ලෙස, සමාජ හා ආර්ථික ජීවිතය මත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීම සමඟ සම්බන්ධ කල යුතුය.
ට්‍රම්ප් සහ ඔහුගේ හෙංචයියන් සමාජවාදය හෙලා දකින විට, ඔවුන් එසේ කරන්නේ, මූලික කාරනය ඔවුන්මත් හඳුනා ගන්නා බැවිනි - එනම්, ආඥාදායකත්වයට හැරීමේදී ඔවුන් කම්කරු පන්තියට සහ සමාජවාදයට එරෙහිව ධනවාදය ආරක්ෂා කරමින් සිටින බවයි.
සමාජ සම්බන්ධතාවල සිදුවෙමින් පවතින දැවැන්ත දේශපාලන වෙනස්කම් සඳහා මූලෝපායේ ගැඹුරු පරිවර්තනයක් අවශ්‍ය වේ. වර්ගය සහ ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම් වූ ඉහල මධ්‍යම පන්තියේ දේශපාලනය වන, “වාම” සම්බන්ධයෙන් ගත් කල, ඉදිරි මාවතක් එයට කිසිවෙටකවත් සැපයීමට නොහැකිවූවාක් මෙන්ම, දැනුදු එවැන්නක් ඔවුන්ට සැපයිය හැකි නොවේ.
ඒකාධිපතිත්වයට එරෙහි අරගලය සඳහා, මාක්ස්වාදයේ විප්ලවවාදී, ජාත්‍යන්තරවාදී සම්ප්‍රදායන් තුල මුල් බැසගත් සහ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියාමාර්ගය හා ඉතිහාසය තුල අන්තර්ගත වූ අව්‍යාජ සමාජවාදයේ පුනර්ජීවනය අවශ්‍ය වේ. කම්කරු පන්තියට තමන් මුහුන දෙන දැවැන්ත අන්තරායන්ට මුහුන දීමට අවශ්‍ය නායකත්වය ගොඩනගා ගත හැකිවන්නේ මෙම පදනම මත පමනි.
ට්‍රම්ප් පරිපාලනය, එහි සියලු ක්‍රියාවන්ගෙන් පෙන්නුම් කරන්නේ, ධනවාදයේ ඓතිහාසික බංකොලොත්භාවයයි. මානව වර්ගයා නැවත වරක් මූලික විකල්පයන්ට මුහුන දී සිටී: එක්කෝ සමාජවාදය නැතිනම් ම්ලේච්ඡත්වය.
ජුනි 15දා, ලෝසවෙඅ 'ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය සහ එය නතර කරන්නේ කෙසේද' යන මැයෙන් හදිසි ඔන්ලයින් රැස්වීමක් පවත්වයි. අපගේ සියලුම පාඨකයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ එයට ලියාපදිංචි වී සහභාගී වන ලෙසයි. සමාජවාදී සමානතා පක්ෂයට බැඳීමට පහත පෝරමය පුරවන්න.